සමාජීය ස්ත්‍රී පුරුෂභාවය හදුනා ගනිමු

“පිරිමි ළමයි අඬන්නේ නැහැ.”

“ගැහැණු ළමයි හරියට ඉඳගන්න ඕනෑ.”

“ගෙදර වැඩ ගැහැණු ළමයින්ට.”

“පවුලක් නඩත්තු කරන්න ඕනෑ පිරිමියා.”

“ගැහැණු ළමයි රෑ වෙලා ගෙදරින් පිට ඉන්න හොඳ නැහැ.”

“පිරිමි ළමයෙක් ඔච්චර බය වෙන්න හොඳ නැහැ.”

මේ වගේ පණිවිඩ අපි කුඩා කාලයේ සිටම අහනවා. ඒවා පවුලෙන්, පාසලෙන්, ආගමික ස්ථානවලින්, මාධ්‍යයෙන්, සමාජ මාධ්‍යයෙන් සහ අප අවට සිටින අයගෙන් ලැබෙනවා.

නිතරම අහන නිසා මේවා ස්වභාවික නීති වගේ පෙනෙන්න පුළුවන්. ඒත් මේ අදහස් බොහොමයක් ශරීරයට හෝ ජීව විද්‍යාවට සම්බන්ධ නැහැ. ඒවා සමාජය විසින් කාලයක් තිස්සේ නිර්මාණය කරගෙන ගිය සමාජභාවී බලාපොරොත්තු.

ලිංගික චරිතලක්ෂණ (Sex) සහ සමාජභාවය (Gender) කියන්නේ එකම දෙයක් නොවේ

ලිංගික චරිතලක්ෂණ යන්නෙන් අදහස් වන්නේ ශරීරයට සම්බන්ධ ලක්ෂණයි. ලිංගික සහ ප්‍රජනන අවයව, හෝමෝන සහ වර්ණදේහ ඒ අතරට අයත් වෙනවා.

දරුවෙකු උපන් විට, සාමාන්‍යයෙන් ඔවුන්ගේ ලිංගික අවයව දෙස බලා ගැහැණු හෝ පිරිමි ලෙස උප්පැන්න සහතිකයේ සටහන් කරනවා. නමුත් හැම මිනිස් ශරීරයක්ම ගැහැණු හෝ පිරිමි කියන කොටස් දෙකට සම්පූර්ණයෙන්ම ගැළපෙන්නේ නැහැ.

සමහර අය ගැහැණු හෝ පිරිමි ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන ලක්ෂණවලට වෙනස් ශරීර ලක්ෂණ, හෝමෝන හෝ වර්ණදේහ සමඟ උපදිනවා. ඔවුන් අන්තර්ලිංගික පුද්ගලයන් ලෙස හඳුන්වනවා. මෙය මිනිස් ශරීරවල තිබෙන ස්වභාවික විවිධත්වයේ කොටසක්.

සමාජභාවය කියන්නේ ගැහැණු සහ පිරිමි අය පෙනිය යුතු, ඇඳිය යුතු, කතා කළ යුතු සහ හැසිරිය යුතු ආකාරය ගැන සමාජය නිර්මාණය කර තිබෙන අදහස් සහ නීති වලට.

ලිංගික ලක්ෂණ ශරීරයට සම්බන්ධයි. නමුත් “ගැහැණු ළමයි හයියෙන් කතා කරන්න හොදනෑ” හෝ “පිරිමි ළමයි අඬන්න හොඳ නැහැ” කියන අදහස් ජීව විද්‍යාත්මක නීති නොවේ.

සමාජභාවය අපේ ජීවිතයට ඇතුළු වෙන්නේ කොහොමද?

දරුවෙකු ඉපදෙන්නත් කලින් රෝස පාට ගැහැණු දරුවන්ටත් නිල් පාට පිරිමි දරුවන්ටත් වෙන් කරනවා. ගැහැණු දරුවන්ට බෝනික්කන් සහ කුස්සි උපකරණ ලබාදෙනවා. පිරිමි දරුවන්ට වාහන, තුවක්කු සහ ගොඩනැගීමේ සෙල්ලම් බඩු ලබාදෙනවා.

එයින් ගැහැණු දරුවන් අන් අය රැකබලාගැනීමටත්, පිරිමි දරුවන් ක්‍රියාශීලී සහ බලවත් වීමටත් සූදානම් කරනවා.

සෙල්ලම් බඩුවක ගැහැණු හෝ පිරිමි භාවයක් නැහැ. වර්ණයකටත් සමාජභාවයක් නැහැ. දරුවෙකු කැමති දේ ඔවුන්ගේ හැකියාව, ලිංගිකත්වය හෝ වටිනාකම තීරණය කරන්නේ නැහැ.

ගෙදරදී

සමහර පවුල්වල ගැහැණු දරුවාට උයන්න, අතුගාන්න, අමුත්තන්ට තේ දෙන්න සහ බාල දරුවන් බලාගන්න කියනවා. ඒ වෙලාවේම ඇගේ සහෝදරයාට සෙල්ලම් කරන්න හෝ දුරකථනය භාවිත කරන්න ඉඩ දෙනවා.

පිරිමි දරුවාටත් වෙනත් බරක් පවරනවා. ඔහු ශක්තිමත් විය යුතුයි, හොඳින් මුදල් උපයා පවුල නඩත්තු කළ යුතුයි, කිසිම දුර්වලකමක් පෙන්වන්න හොඳ නැහැ කියලා උගන්නනවා.

මේ දෙකම දරුවන් සීමා කරනවා.

ගෙදර වැඩ කිරීම ගැහැණු දරුවන්ගේ ස්වභාවික වගකීමක් නොවේ. මුදල් උපයා ගැනීම පිරිමි දරුවන්ගේ පමණක් වගකීමක් නොවේ.

සෑම දරුවෙකුම උයන්න, පිරිසිදු කරන්න, මුදල් පාලනය කරන්න, අන් අය රැකබලාගන්න සහ ස්වාධීනව ජීවත් වෙන්න ඉගෙනගත යුතුයි.

පාසලේදී

සමාජභාවී අදහස් දරුවන්ගේ අධ්‍යාපනයටත් බලපානවා.

පිරිමි ළමයින් විද්‍යාව, තාක්ෂණය, ගණිතය, ක්‍රීඩාව සහ නායකත්වයට දක්ෂයි කියලා හිතන්න පුළුවන්. ගැහැණු ළමයින් භාෂා, කලාව සහ අන් අය රැකබලාගන්නා රැකියාවලට සුදුසුයි කියලා කියන්න පුළුවන්.

විශ්වාසයෙන් කතා කරන පිරිමි ළමයෙක් “නායකයෙක්” ලෙසත්, ඒ විදිහටම කතා කරන ගැහැණු ළමයෙක් “කටකාර” හෝ “පාලනය කරන්න හදන” කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

මෘදු ලෙස කතා කරන හෝ නර්තනයට කැමති පිරිමි ළමයෙකුට විහිළු කරන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩා කරන හෝ කෙටි කොණ්ඩයකට කැමති ගැහැණු ළමයෙකුට “පිරිමි ළමයෙක් වගේ” කියන්න පුළුවන්.

විෂයක්, ක්‍රීඩාවක් හෝ රැකියාවක් එක් සමාජභාවයකට අයිති නැහැ. ගැහැණු ළමයෙකුට ඉංජිනේරුවරියක්, රියදුරුවරියක් හෝ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන්න පුළුවන්. පිරිමි ළමයෙකුට හෙද නිලධාරියෙක්, නර්තන ශිල්පියෙක් හෝ ළමයින් රැකබලාගන්නා ගුරුවරයෙක් වෙන්න පුළුවන්.

නිදහස සහ ආරක්ෂාව

ගැහැණු ළමයින්ට පිරිමි ළමයින්ට වඩා අඩු නිදහසක් දීම බොහෝවිට “ආරක්ෂාව” ලෙස හඳුන්වනවා.

ගැහැණු ළමයෙකුට තනිව ගමන් කරන්න, යාළුවන් හමුවෙන්න හෝ රෑ වනතුරු පිටත සිටින්න ඉඩ නොදෙන්න පුළුවන්. ඒත් ඇගේ සහෝදරයාට ඒ නිදහස ලැබෙනවා.

ගැහැණු ළමයින් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය සැබෑ ප්‍රශ්නයක්. නමුත් ඒකට විසඳුම ගැහැණු ළමයින්ගේ ලෝකය කුඩා කිරීම නොවේ.

ආරක්ෂාව ගැන සෑම දරුවෙකුටම ඉගැන්විය යුතුයි. ඒ සමඟම පොදු ස්ථාන ආරක්ෂිත කිරීම සහ හිංසා කරන පුද්ගලයන් වගකිව යුතු තත්ත්වයට පත් කිරීමත් අවශ්‍යයි.

සමාජ මාධ්‍යයේදී

පරණ සමාජභාව අදහස් අලුත් තාක්ෂණය ඇතුළෙත් තිබෙනවා.

ගැහැණු ළමයින්ට:

  • ඡායාරූප දාන්න එපා.
  • නාඳුනන අය සමඟ කතා කරන්න එපා.
  • වැඩියෙන් අදහස් දක්වන්න එපා.
  • අවධානය ලැබෙන විදිහට හැසිරෙන්න එපා.
  • යම් දෙයක් වුණොත් “ඔයා මීට වඩා පරිස්සම් වෙන්න තිබුණා” කියන්න පුළුවන්.

පිරිමි ළමයින්ට:

  • මුලින්ම කතා කරන්න.
  • ගැහැණු ළමයෙකු “බැහැ” කිව්වත් දිගටම උත්සාහ කරන්න.
  • ලිංගික අත්දැකීම් තිබෙන බව පෙන්වන්න.
  • ගැහැණු ළමයින්ගේ ඡායාරූප ගැන කතා කරන්න හෝ ඒවා යාළුවන් සමඟ හුවමාරු කරන්න.
  • තමන්ට ලිංගික හිරිහැරයක් සිදු වුණත් ඒ ගැන කතා නොකරන්න.

මේ වගේ පණිවිඩ දෙපාර්ශ්වයටම හානිකරයි.

ඔසප් වීම සහ සමාජභාවී අදහස්

ඔසප් වීම ශරීරයේ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. නමුත් ඒ වටා තිබෙන බොහෝ සීමා සමාජය විසින් නිර්මාණය කළ ඒවා.

ඔසප් වන ගැහැණු ළමයෙකුට:

කුස්සියට යන්න එපා,

ආගමික ස්ථානයකට යන්න එපා,

ඇතැම් ආහාර අල්ලන්න හෝ කන්න එපා,

හිස සෝදන්න එපා,

ක්‍රීඩා කරන්න එපා,

පිරිමි අය ඉදිරියේ ඔසප් වීම ගැන කතා කරන්න එපා,

සනීපාරක්ෂක නිෂ්පාදන සඟවාගෙන යන්න,

දැන් “හොඳ තරුණියක්” වගේ හැසිරෙන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්.

ඔසප් වීමෙන් කෙනෙකු අපිරිසිදු හෝ අශුද්ධ වෙන්නේ නැහැ. ඔසප් දිනවලදී නාන්න, හිස සෝදන්න, පෝෂ්‍යදායී ආහාර ගන්න, පහසු නම් ව්‍යායාම කරන්න, පාසල් යන්න සහ සාමාන්‍ය කටයුතු කරන්න පුළුවන්.

පළමු ඔසප් වීම ගැහැණු දරුවෙකුගේ ඇඳුම්, ගමන් බිමන්, යාළුකම් සහ නිදහස සීමා කිරීමේ හේතුවක් නොවිය යුතුයි.

පිරිමි ළමයිනුත් ඔසප් වීම ගැන ඉගෙනගත යුතුයි. එය ගැහැණු ළමයින්ට පමණක් අයිති රහසක් නොවේ.

සමාජභාවය යන්න සාරාංශ කර බලමු

සමාජභාවය කියන්නේ සමාජය තුළ පිරිමින්ට සහ ස්ත්‍රීන්ට පැවරෙන භූමිකා පිළිබඳ සමාජය විසින් නිර්මාණය කර ඇති අදහස්වලටයි. සමාජභාවීය භූමිකා අපි ඉගෙනගන්නා දේවල්. අපි ඒවා සමඟ උපදින්නේ නැහැ.

සමාජ සම්මතයක් (Norm) කියන්නේ සමාජය විසින් පිළිගන්නා හැසිරීමක් හෝ හැසිරිය යුතු ආකාරය පිළිබඳ අදහසක්. උදාහරණයක් ලෙස, පිරිමින් තම හැඟීම් පෙන්වන්න හොඳ නැහැ කියන අදහස, “පිරිමි අඬන්නේ නැහැ” යන සමාජ සම්මතය හරහා පෙන්වනවා.

යම් සම්මතයක් සමාජභාවය මත පදනම් වී තිබෙනවා නම්, එය සමාජභාවීය සම්මතයක් (Gender norm) ලෙස හඳුන්වනවා. “පවුලට මුදල් උපයා දිය යුත්තේ පිරිමියා”, “ශාරීරික ශක්තිය අවශ්‍ය ගෙදර වැඩ කළ යුත්තේ පිරිමියා” සහ “ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම වැනි ගෙදර වැඩ කළ යුත්තේ කාන්තාව” යන අදහස් සමාජභාවීය සම්මතවලට උදාහරණයි.

සමාජභාවීය සම්මත කිහිපයක් එකතු වී සමාජභාවීය භූමිකාවක් (Gender role) නිර්මාණය වෙනවා. එම නිසා සමාජභාවීය භූමිකාවක් කියන්නේ, සාමාන්‍යයෙන් පිරිමින්ට හෝ ස්ත්‍රීන්ට අදාළ කරනු ලබන හැසිරීම් සහ වගකීම් සමූහයක්.

සමාජභාවය සහ පුරුෂාධිපත්‍යය අතර සම්බන්ධය

සමාජය විසින් ගැහැණු සහ පිරිමි අය පෙනී සිටිය යුතු, හැසිරිය යුතු සහ කළ යුතු දේ ගැන නිර්මාණය කර ඇති අදහස් සමාජභාවීය ගොඩනැගීම් ලෙස හඳුන්වනවා.

මෙවැනි අදහස් ගැහැණු සහ පිරිමි අයට වෙනස් වගකීම්, නිදහස සහ බලය ලබාදෙනවා. පිරිමි අයට වැඩි බලයක්, නිදහසක් සහ තීරණ ගැනීමේ අවස්ථා ලබාදෙමින්, ගැහැණු අයගේ නිදහස සහ අවස්ථා සීමා කරන සමාජ ක්‍රමය පුරුෂාධිපත්‍යය ලෙස හඳුන්වනවා.

ඒ නිසා සමාජභාවීය ගොඩනැගීම් පුරුෂාධිපත්‍යය පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. පවුල, පාසල, ආගමික ස්ථාන, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මේ අදහස් නැවත නැවතත් කියාදෙන විට, ඒවා සාමාන්‍ය සහ ස්වාභාවික නීති වගේ පෙනෙන්න පුළුවන්.

නමුත් මේවා වෙනස් කළ නොහැකි නීති නොවේ. ගෙදර වැඩ සාධාරණව බෙදාගැනීම, සෑම දරුවෙකුටම සමාන නිදහසක් ලබාදීම, හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩදීම සහ නායකත්වයට හැමෝටම අවස්ථාව ලබාදීම මගින් අපට හානිකර සමාජභාවීය අදහස් සහ පුරුෂාධිපත්‍යය වෙනස් කරන්න පුළුවන්.

සමාජභාවී ගොඩනැංවීමි අසාධාරණය බලපානවා 

ගැහැණු ළමයින්ට අඬන්න ඉඩ දුන්නත් තරහ පෙන්වන විට එය නුසුදුසු “නරක” හැසිරීමක් කියන්න පුළුවන්. පිරිමි ළමයින්ට තරහ පෙන්වන්න ඉඩ දුන්නත් අඬන විට එය පිරිමින්ට නොගැලපෙන “දුර්වල” හැසිරීමක් කියන්න පුළුවන්.

එයින් ගැහැණු ළමයි තමන්ට සාධාරණව ඇතිවන තරහ සඟවාගන්න ඉගෙනගන්නවා. පිරිමි ළමයි තමන්ගේ දුක හෝ බය වැනි හැගීම් තරහ සහ ප්‍රචණ්ඩත්වය හරහා පෙන්වන්න ඉගෙනගන්න පෙළඹෙනවා.

දුක, තරහ, බය, සතුට සහ ආදරය හැම මිනිසෙකුටම දැනෙනවා. හැඟීම්වලට සමාජභාවයක් නැහැ.

ශක්තිමත් වීම කියන්නේ කිසිම දෙයක් දැනෙන්නේ නැති විදිහට ඉන්න එක නොවේ. උදව් ඉල්ලීම, සමාව ගැනීම සහ හැඟීම් ගැන අවංකව කතා කිරීමත් ශක්තිමත් බවේ ලකුණු බව අපි මතක තබා ගන්න ඕනේ.

පෙනුම සහ ශරීරය

ගැහැණු ළමයින්ට සිහින්, පැහැපත්, ලස්සන සහ තරුණ පෙනුමක් තිබිය යුතුයි කියලා බලපෑම් කරනවා. පිරිමි ළමයින්ට උස, ශක්තිමත් සහ මාංසපේශී ශරීරයක් තිබිය යුතුයි කියලා කියනවා.

සමාජ මාධ්‍ය filters, AI මගින් වෙනස් කළ ඡායාරූප, influencers සහ වෙළෙඳ දැන්වීම් මේ පීඩනය තවත් වැඩි කරනවා.

නමුත් මිනිස් ශරීර විවිධයි. සමේ පාට, උස, බර, මුහුණේ හැඩය හෝ ශරීරයේ වෙනත් ලක්ෂණ කෙනෙකුගේ වටිනාකම තීරණය කරන්නේ නැහැ.

ප්‍රේම සම්බන්ධතා සහ ලිංගිකත්වය

පිරිමි ළමයි සම්බන්ධතාවයක් පටන්ගත යුතුයි, දිගින් දිගටම උත්සාහ කළ යුතුයි සහ ලිංගික අත්දැකීම් තිබිය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා.

ගැහැණු ළමයි ආකර්ෂණීය විය යුතු නමුත් ලිංගිකත්වය ගැන කැමැත්තක් පෙන්වන්න හොඳ නැහැ කියලා කියනවා. ඔවුන්ගේ වටිනාකම කන්‍යාභාවය, කීකරුකම සහ පවුලේ ගෞරවය සමඟ සම්බන්ධ කරනවා.

මේ දෙකම අසාධාරණයි.

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයකදී:

  • ඕනෑම කෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්.
  • ඕනෑම කෙනෙකුට “බැහැ” කියන්න පුළුවන්.
  • දෙදෙනාටම තමන්ගේ සීමාවන් තීරණය කරන්න පුළුවන්.
  • ආදරය ඔප්පු කිරීමට ලිංගිකව හැසිරෙන්න අවශ්‍ය නැහැ.
  • වෙනත් කෙනෙකුගේ ශරීරය වෙනත් කිසිවෙකුට අයිතියක් නැහැ.
  • ආරක්ෂිත ලිංගික හැසිරීම දෙදෙනාගේම වගකීමක්.
  • දෙදෙනාටම සම්බන්ධතාවයෙන් ඉවත් වෙන්න නිදහස තිබිය යුතුයි.

සමාජභාවී අනන්‍යතාව

සමාජභාවී අනන්‍යතාව කියන්නේ කෙනෙකු තමන්ගේ සමාජභාවය ඇතුළතින් හඳුනාගන්නා ආකාරයයි.

බොහෝ අය තමන්ව ගැහැණු ළමයෙකු, පිරිමි ළමයෙකු, කාන්තාවක් හෝ පිරිමියෙක් ලෙස හඳුනාගන්නවා. සමහර අයගේ සමාජභාවී අනන්‍යතාව උපතේදී සටහන් කළ ලිංගික චරිතලක්ෂණ වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔවුන් තමන්ව සංක්‍රාන්ති සමාජභාවීය, කුයර් හෝ වෙනත් නමකින් හඳුන්වන්න පුළුවන්.

නමුත් ගැහැණු ළමයෙකු සමාජය පනවන ගැහැණුකමට අදාළ නීති ප්‍රතික්ෂේප කළා කියලා ඇය අනිවාර්යයෙන්ම සංක්‍රාන්ති සමාජභාවීය කෙනෙක් වෙන්නේ නැහැ. නර්තනයට, ඉවුම් පිහුම්වලට හෝ විලාසිතාවලට කැමති පිරිමි ළමයෙක්ද අනිවාර්යයෙන්ම සංක්‍රාන්ති හෝ සමරිසි කෙනෙක් නොවේ.

ඇඳුම්, කොණ්ඩය, කටහඬ, විනෝදාංශ හෝ යාළුවන් කවුදැයි බලා කෙනෙකුගේ සමාජභාවී අනන්‍යතාව තීරණය කරන්න බැහැ.

මතක ලබා ගන්න – කෙනෙක් තමන්ව හඳුනාගන්නා ආකාරය අපට සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට අපහසු වුවත්, ඔවුන්ට ගෞරවයෙන් සලකන්න එය බාධාවක් විය යුතු නැහැ.

මේක ජීව විද්‍යාත්මක තත්ත්වයක්ද, සමාජය හදපු නීතියක්ද?

“ගැහැණු ළමයි මෙහෙම කරන්න ඕනෑ” හෝ “පිරිමි ළමයින්ට මේක කරන්න බැහැ” කියලා කෙනෙකු කියන විට මේ ප්‍රශ්න අහන්න:

  • මේ නීතිය ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවකට සම්බන්ධද?
  • නැතිනම් එය සමාජය නිර්මාණය කළ අදහසක්ද?
  • එයින් හැමෝටම සමාන ආරක්ෂාවක් සහ නිදහසක් ලැබෙනවාද?
  • එක් පිරිසකට වැඩි බලයක් හෝ නිදහසක් ලැබෙනවාද?
  • එයින් සීමා වන්නේ, නිහඬ වන්නේ හෝ දඬුවම් ලබන්නේ කවුද?

කුඩා කොටුවක් ඇතුළේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ

ගැහැණු ළමයෙක් විශ්වාසයෙන්, ස්වාධීනව, විවෘතව සහ අරමුණු සහිතව ජීවත් වුණා කියලා ඇගේ ගැහැණුකම අඩු වෙන්නේ නැහැ.

පිරිමි ළමයෙක් මෘදු, ආදරණීය, සංවේදී හෝ බියෙන් සිටින බව පිළිගත්තා කියලා ඔහුගේ පිරිමිකම අඩු වෙන්නේ නැහැ.

දරුවෙකු තම සමාජභාවයට සම්බන්ධ සම්ප්‍රදායික දේකට කැමති නම් එහි ගැටලුවක් නැහැ. ගැටලුව ඇතිවන්නේ ඒවාට කැමති වෙන්න ඔවුන්ට බල කරන විට හෝ වෙනස් දෙයක් තෝරාගැනීම නිසා දඬුවම් කරන විටයි.

අපේ අරමුණ සමාජභාවය ගැන තවත් අලුත් නීති කට්ටලයක් නිර්මාණය කිරීම නොවේ.

අපේ අරමුණ සෑම දරුවෙකුටම තමන් කවුරුන්ද කියලා තේරුම්ගන්න, තමන් කැමති දේ තෝරාගන්න, අන් අයට ගරු කරන්න සහ හානිකර සමාජභාවී අදහස්වලට සීමා නොවී ජීවත් වෙන්න අවකාශය ලබාදීමයි.

අසාධාරණ නීති වෙනස් කළ ස්ත්‍රීන්

“ගැහැණු ළමයින්ට ඉගෙනගන්න අවශ්‍ය නැහැ”, “ස්ත්‍රීන්ට ඡන්දය දෙන්න බැහැ”, “දේශපාලනය පිරිමින්ගේ වැඩක්” හෝ “ඔසප් වන ස්ත්‍රීන් අපිරිසිදුයි” වැනි අදහස් ජීව විද්‍යාත්මක සත්‍ය නොවේ. ඒවා සමාජය විසින් නිර්මාණය කළ සමාජභාවීය අදහස්. කාලයක් තිස්සේ මේ අදහස් නීති, සම්ප්‍රදායන් සහ පුරුදු බවට පත්වී ගැහැණු ළමයින්ගේ නිදහස සහ අවස්ථා සීමා කළා.

අතීතයේ බොහෝ රටවල ස්ත්‍රීන්ට ඡන්දය දීමට අවසර තිබුණේ නැහැ. බ්‍රිතාන්‍යයේ එමලින් පැන්ක්හර්ස්ට්  (Emmeline Pankhurst) සහ තවත් බොහෝ ස්ත්‍රීන් ඡන්ද අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කළා. ඔවුන්ගෙන් සමහර දෙනෙක් අත්අඩංගුවටත් පත්වුණා. එහෙත් ඔවුන්ගේ අරගලය නිසා ස්ත්‍රීන්ටත් රටේ තීරණවලට සම්බන්ධ වීමේ අයිතිය තිබෙන බව පිළිගන්න සිදු වුණා.

ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ස්ත්‍රීන් සටන් කළා. 1848දී ඉන්දියාවේ සාවිත්‍රිබායි ෆුලේ (Savitribai Phule) ගැහැණු ළමයින් සඳහා පාසලක් ආරම්භ කළා. ඇයට අපහාස සහ විරෝධතා එල්ල වුණත් ඇය ඉගැන්වීම නතර කළේ නැහැ. වසර ගණනාවකට පසුව පාකිස්තානයේ මලාලා යූසුෆ්සායි (Malala Yousafzai) ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කළා. ඇයට වෙඩි තබා නිහඬ කිරීමට උත්සාහ කළත්, ඇය දිවි ගලවාගෙන නැවතත් ලෝකය පුරා ගැහැණු ළමයින් වෙනුවෙන් කතා කළා.

ඉන්දියාවේ වෛද්‍යවරියක වූ මුතුලක්ෂ්මි රෙඩ්ඩි (Muthulakshmi Reddy) ස්ත්‍රීන්ගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කළා. ඇය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවේ පළමු කාන්තා ව්‍යවස්ථාදායක සභිකාව බවටත් පත්වුණා. ස්ත්‍රීන්ට වෛද්‍යවරියන්, නීති සම්පාදකයන් සහ තීරණ ගන්නා නායිකාවන් විය හැකි බව ඇය පෙන්වා දුන්නා.

1960දී ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය බවට පත්වුණා. 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ජනාධිපතිනිය බවට පත්වුණා. ස්ත්‍රීන්ට පාලනය කළ නොහැකියි කියන අදහසට ඔවුන්ගේ නායකත්වය අභියෝග කළා. එහෙත් ස්ත්‍රීන් කිහිපදෙනෙකු ඉහළ තනතුරුවලට පැමිණීමෙන් පමණක් සමානාත්මතාව සම්පූර්ණ වෙන්නේ නැහැ. සියලුම ගැහැණු ළමයින්ට දේශපාලනයට සහ තීරණ ගැනීමට සමාන අවස්ථා ලැබිය යුතුයි.

ආගමික ස්ථානවලදීත් ස්ත්‍රීන් අසාධාරණ සීමාවලට මුහුණ දෙනවා. ඉන්දියාවේ සබ්රිමාලා දේවාලයට වයස අවුරුදු 10ත් 50ත් අතර ස්ත්‍රීන් ඇතුළුවීම වළක්වා තිබුණා. එම සීමාව ඔසප් විය හැකි වයසේ ස්ත්‍රීන් “අපිරිසිදු” යන අදහස සමඟ සම්බන්ධ වුණා. ස්ත්‍රී වාදීන්ගේ සටන නිසා 2018දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්ත්‍රීන්ට ඇතුළුවීමට ඉඩ දිය යුතු බව තීරණය කළා. 2019දී බින්දු අම්මිනි (Bindu Ammini) සහ කනකදුර්ගා (Kanakadurga) දැඩි විරෝධතා සහ තර්ජන මැද දේවාලයට ඇතුළු වුණා.

ඔසප් වීම ස්වාභාවික ශාරීරික ක්‍රියාවලියක්. එය කෙනෙකු අපිරිසිදු කරන්නේ නැහැ. ඔසප් වීම නිසා ගැහැණු ළමයෙකුට පාසල් යාම, ක්‍රීඩා කිරීම, ආගමික ස්ථානයකට යාම හෝ සාමාන්‍ය ජීවිතය ගත කිරීම තහනම් කිරීම අසාධාරණ සමාජභාවීය සීමාවක්.

මේ ස්ත්‍රීන් අපට පෙන්වන්නේ අසාධාරණ නීති සහ සම්ප්‍රදායන් ඉබේ වෙනස් නොවන බවයි. මෙහි “සටන් කිරීම” කියන්නේ හැමවිටම ශාරීරිකව සටන් කිරීම නොවේ. ප්‍රශ්න ඇසීම, ඉගෙනගැනීම, අසාධාරණයට විරුද්ධව කතා කිරීම, අන් අයට සහාය වීම සහ නීති වෙනස් කිරීමට එකතු වී ක්‍රියා කිරීමත් සටනේ කොටස්.

Quiz

1.වර්ණයක්, සෙල්ලම් බඩුවක්, විෂයක් හෝ රැකියාවක් ගැහැණු හෝ පිරිමි අයට පමණක් අයිති නැහැ.

2.දුක, බය, තරහ, සතුට සහ ආදරය වැනි හැඟීම් ගැහැණු සහ පිරිමි හැමදෙනාටම දැනෙනවා.

3.සමාජභාවය පිළිබඳ අදහස් නිර්මාණය කරන තැන් මොනවාද?

4.යහපත් සම්බන්ධතාවයකදී ඕනෑම කෙනෙකුට “බැහැ” කියන්නත්, තමන්ගේ සීමාවන් තීරණය කරන්නත් පුළුවන්.

5.අසාධාරණ සමාජභාවීය අදහස් සහ සම්මත ප්‍රශ්න කිරීමෙන් ඒවා වෙනස් කරන්න අපට පුළුවන්.