කැමැත්ත ගැන කතා කරමු

වයස අවුරුදු 13 සහ ඊට වැඩි දරුවන්ගේ දෙමාපියන් සහ රැකබලා ගන්නන් සඳහා මඟපෙන්වීමක්

කැමැත්ත ගැන කතා කිරීම ආරම්භ වෙන්නේ සරල පණිවිඩයකින්: ඔබේ ශරීරය ඔබට අයිතියි. අනෙක් අයගේ ශරීර ඔවුන්ට අයිතියි.

කැමැත්ත ගැන කතා කිරීමෙන් දරුවාට තමන්ගේ සීමා හඳුනාගන්නත්, බලපෑම් තේරුම් ගන්නත්, අනෙක් අයට ගරු කරන්නත් උදව් වෙනවා. ඒ වගේම වැඩිහිටියන් එකඟ නොවන අවස්ථාවල හැසිරෙන ආකාරය, “එපා” කියන විට ප්‍රතිචාර දක්වන ආකාරය සහ එකිනෙකාට සලකන ආකාරය දරුවන් නිවසේදී දකිනවා.

ඔබට හැම ප්‍රශ්නයකටම පිළිතුරු තිබිය යුතු නැහැ. මුලින්ම ඇහුම්කන් දෙන්න. දොස් ඇසීමට හෝ ලැජ්ජාවට පත් වීමට බිය නොවී ඔබ සමඟ කතා කළ හැකි බව දරුවාට දැනෙන්න ඉඩ දෙන්න.

  1. මේ මාතෘකාව වැදගත් ඇයි?

කැමැත්ත මිත්‍රත්වයන්ට, පවුල් ජීවිතයට, ආදර සම්බන්ධතාවලට සහ අන්තර්ජාලයේ කටයුතුවලටත් වැදගත්. කෙනෙකුව වැලඳගන්න කලින්, ඔවුන්ගේ දෙයක් ඉල්ලා ගන්න කලින් හෝ ඔවුන්ගේ ඡායාරූපයක් බෙදාගන්න කලින් විමසීම වැනි දේවල් මඟින් එය දිනපතා පුරුදු වෙන්න පුළුවන්.

ලිංගික කැමැත්ත කියන්නේ සිදුවන්නේ කුමක්දැයි තේරුම්ගෙන, යම් ලිංගික ක්‍රියාවකට බලපෑමකින් තොරව එකඟ වීමයි. ආදර සම්බන්ධතාවයක් තිබීමෙන් කෙනෙකුට අනෙක් පුද්ගලයාගේ ශරීරය ස්පර්ශ කිරීමට, බලපෑම් කිරීමට හෝ පාලනය කිරීමට අවසර ලැබෙන්නේ නැහැ.

සියලුම දරුවන්ට කරුණු දෙකම කියා දෙන්න: ඔවුන්ගේ සීමාවලට අනෙක් අය ගරු කළ යුතුයි. ඔවුනුත් අනෙක් අයගේ සීමාවලට ගරු කළ යුතුයි.

  1. කතාබහ ආරම්භ කරන්නේ කොහොමද?

නිදහසේ කතා කළ හැකි සන්සුන්, පෞද්ගලික අවස්ථාවක් තෝරාගන්න. රණ්ඩුවක් අතරතුර කතාව ආරම්භ කරන්න එපා. ප්‍රශ්න කිරීමක් වගේ දැනෙන්නත් ඉඩ දෙන්න එපා.

මෙහෙම අහන්න පුළුවන්:

“කැමැත්ත කියන වචනය අහලා තියෙනවද? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා ඔයා හිතන්නේ?”

“කෙනෙක් යම් දෙයකට කැමතිද, එයින් පහසු බවක් දැනෙනවද කියලා අපි දැනගන්නේ කොහොමද?”

“යාලුවෙක් ‘මට හරියටම විශ්වාස නැහැ’ කිව්වොත් මොකක්ද කරන්න ඕනේ?”

“කැමතියි කිව්වට පස්සෙත් හිත වෙනස් කරගන්න පුළුවන්ද?”

පැහැදිලි කරන්න කලින් දරුවාට ඇහුම්කන් දෙන්න. දරුවාගේ පෞද්ගලික අත්දැකීම් අහන්නේ නැතිව චිත්‍රපටයක දර්ශනයක් හෝ Bakteens ලිපියේ උදාහරණයක් ගැන කතා කරන්න පුළුවන්.

එක දිගු කතාවක් වෙනුවට කෙටි කතාබහ කිහිපයක් කරන්න. දරුවාට අපහසු බවක් දැනෙනවා නම් මෙහෙම කියන්න:

“අපි දැන් හැම දෙයක්ම කතා කරන්න ඕනේ නැහැ. ඔයාට ඕනෑම වෙලාවක මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්.”

  1. පැහැදිලි කළ යුතු ප්‍රධාන කරුණු

කැමැත්ත පැහැදිලි විය යුතුයි. 

නිහඬව සිටීම, දෙගිඩියාවෙන් සිටීම හෝ විරුද්ධ නොවීම කැමැත්ත දීමක් නොවෙයි. කෙනෙකුගේ කැමැත්ත ගැන විශ්වාස නැත්නම් නතර වී විමසන්න.

කැමැත්ත බලපෑමකින් තොරව දිය යුතුයි.

තර්ජනය කිරීම, වරදකාරී හැඟීමක් ඇති කිරීම, නැවත නැවත ඉල්ලීම හෝ “ඔයා මට ආදරෙයි නම් මේක කරනවා” කියන එක බලපෑමක්.

කැමැත්ත දීමට සිදුවන දේ තේරුම් ගත හැකි විය යුතුයි. 

නිදාගෙන සිටින, සිහිසුන් හෝ සිදුවන දේ තේරුම්ගෙන තීරණයක් ගත නොහැකි තරමට මත් වී සිටින කෙනෙකුට කැමැත්ත දෙන්න බැහැ.

කැමැත්ත එක් එක් ක්‍රියාවට අදාළයි. එය දිගටම තිබිය යුතුයි. 

සිපගැනීමකට එකඟ වීමෙන් වෙනත් ක්‍රියාවකටත් එකඟ වූ බව අදහස් වෙන්නේ නැහැ. යමක් ආරම්භ වූ පසුවත් ඕනෑම මොහොතක හිත වෙනස් කරගන්න පුළුවන්.

සම්බන්ධතාවයක් තිබුණත් කැමැත්ත අවශ්‍යයි. 

ආදරය, තෑගි හෝ කලින් කළ දේවල් නිසා නැවත එකඟ වීමට බැඳීමක් ඇති වෙන්නේ නැහැ.

අන්තර්ජාලයේදීත් කැමැත්ත වැදගත්. 

කෙනෙකුගේ ඡායාරූපයක් පළ කරන්න හෝ පණිවිඩයක් බෙදාගන්න කලින් අවසර ඉල්ලන්න. පෞද්ගලික ඡායාරූපයක් ලැබුණු පමණින් එය වෙනත් අයට යවන්න අවසර ලැබෙන්නේ නැහැ.

ශිෂ්ණය ප්‍රාණවත් වීම වැනි ශාරීරික ප්‍රතිචාරයක් ඇති වීමෙන් කෙනෙකු ලිංගික ස්පර්ශයකට කැමති බව තහවුරු වෙන්නේ නැහැ.

දරුවන් ආරක්ෂා කරන නීති ගැනත් පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ ලිංගික කැමැත්ත සම්බන්ධ සාමාන්‍ය නීතිමය වයස් සීමාව අවුරුදු 16යි. දරුවෙකු එකඟ වූ බව කී පමණින් ළමා ලිංගික අපයෝජනයක් නීත්‍යනුකූල වෙන්නේ නැහැ. එවැනි වැරදි සඳහා සිරදඬුවම් ඇතුළු බරපතළ දඬුවම් තිබෙනවා.

  1. කැමැත්තට ගරු කරන නිවසක් ඇති කරන්නේ කොහොමද?

එදිනෙදා සීමාවලට ගරු කරන්න

“ඔයාව වැලඳගන්නද?” කියලා අහන්න. දරුවා අකමැති නම් අමනාප නොවී හෝ වරදකාරී හැඟීමක් ඇති නොකර එය පිළිගන්න.

ඥාතීන්ව වැලඳගන්න බල කරනවා වෙනුවට කතා කරලා හෝ අත වනලා ආචාර කරන්න ඉඩ දෙන්න. කිතිකවන විට නවත්වන්න කිව්වොත් නවත්වන්න.

පෞද්ගලිකත්වයට ගරු කරන්න

කාමරයට ඇතුළු වෙන්න කලින් දොරට තට්ටු කරන්න. ඡායාරූප බෙදාගන්න කලින් විමසන්න.

ආරක්ෂාව ගැන සැකයක් නිසා යමක් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබේ හේතුව පැහැදිලි කර හැකි තරම් දරුවාවත් ඒ කටයුත්තට සම්බන්ධ කරගන්න.

වෙනස් අදහසක් කියන්න ඉඩ දෙන්න

දරුවාගේ අදහස ඔබේ අදහසට වඩා වෙනස් වුණත් ඇහුම්කන් දෙන්න. අකමැති ස්පර්ශයකට “එපා” කීම අගෞරවයක් නොවෙයි.

ආරක්ෂාව සහ වගකීම් ගැන සාධාරණ නීති තබාගන්න පුළුවන්. ඒවා සන්සුන්ව පැහැදිලි කරන්න.

වැඩිහිටියන් අතරත් ගෞරවය පෙන්වන්න

වැඩිහිටියන් එකිනෙකාට ඇහුම්කන් දෙනවද, සීමාවලට ගරු කරනවද, තීරණ ගන්නා විට අනෙක් අයගේ අදහස් විමසනවද කියලා දරුවන් දකිනවා.

එක් අයෙකුට අනෙක් පුද්ගලයාව පාලනය කිරීමට අයිතියක් තිබෙනවා වගේ හැසිරීම වැරදි පණිවිඩයක් දෙනවා.

හිංසාවෙන් හෝ අවමානයෙන් තොරව මඟපෙන්වන්න

පහර දීම, තර්ජනය කිරීම හෝ ලැජ්ජාවට පත් කිරීමෙන් බලය වැඩි කෙනාට හැම දෙයක්ම තීරණය කරන්න පුළුවන් කියන අදහස දරුවාට ලැබෙන්න පුළුවන්.

ඔබ බලාපොරොත්තු වන හැසිරීම පැහැදිලි කරන්න. නීති කඩ කළ විට සාධාරණ, හිංසාවෙන් තොර ප්‍රතිවිපාක යොදාගන්න.

වැඩිහිටියන් අතර වාදයක් ඇති වූ විට

එකඟ නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒවා හසුරුවන ආකාරයයි.

අපහාස, තර්ජන සහ බිය ඇති කරන හැසිරීම්වලින් වළකින්න. කෝපය වැඩි වෙනවා නම්, එසේ කිරීම ආරක්ෂිත නම් කතාවට විරාමයක් ගන්න.

වැඩිහිටියන්ගේ ගැටුමකදී පැත්තක් ගන්න, පණිවිඩ ගෙන යන්න හෝ ගැටුම විසඳන්න දරුවාට කියන්න එපා.

දරුවා කෑගැසීමක් හෝ සිත් රිදවන හැසිරීමක් දැක්කා නම් එය පිළිගන්න:

“මම කෑගහනවා ඔයාට ඇහුණා. ඒක වැරදියි. ඒක ඔයාගේ වරදක් නෙවෙයි. මගේ කෝපය වෙනස් විදිහකට හසුරුවන එක මගේ වගකීමක්.”

සමාව ඉල්ලීමෙන් පසු හැසිරීමත් වෙනස් විය යුතුයි. ඔබව සනසන්න හෝ වහාම සමාව දෙන්න දරුවාගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

නිවසේ හිංසාවක් හෝ අපයෝජනයක් තිබෙන විට

තර්ජන, ශාරීරික හිංසාව, බලහත්කාර ලිංගික ක්‍රියා සහ පාලනය කරන හැසිරීම් සාමාන්‍ය මතභේද නොවෙයි. හිංසාව දරුවාට සෘජුව සිදු නොවුණත් එයින් දරුවාට බලපෑම් ඇති වෙන්න පුළුවන්.

අපයෝජනය ආදරය, විනය හෝ විවාහ ජීවිතයේ සාමාන්‍ය දෙයක් ලෙස විස්තර කරන්න එපා.

දරුවාට මෙහෙම කියන්න:

“සිදු වුණු දේ වැරදියි. ඒකට හේතුව ඔයා නෙවෙයි. ඒක නවත්වන එකත් ඔයාගේ වගකීමක් නෙවෙයි.”

හිංසාවට මුහුණ දෙන පුද්ගලයා අනෙක් කෙනාගේ හිංසාවට වගකිව යුතු නැහැ. සහාය ලබාගැනීම සහ ආරක්ෂාව සඳහා සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්.

දරුවා ශාරීරිකව මැදිහත් වී වැඩිහිටියෙකුව ආරක්ෂා කළ යුතු බව බලාපොරොත්තු වෙන්න එපා. තර්ජන හෝ හිංසාව තිබෙන විට පවුලේ කතාබහක් පමණක් ප්‍රමාණවත් හෝ ආරක්ෂිත නොවෙන්න පුළුවන්.

  1. එකට කළ හැකි කුඩා ක්‍රියාකාරකමක්

මේ අවස්ථා කියවා මෙහෙම අහන්න:

“මෙතැන පැහැදිලි, බලපෑමකින් තොර කැමැත්තක් තියෙනවද? ඊළඟට මොකක්ද කළ යුත්තේ?”

  •  ඥාතියෙකු දරුවාව වැලඳගන්න කැමතියි. දරුවා කැමති අත වනලා ආචාර කරන්න.
  •  කෙනෙකු සිපගැනීමකට එකඟ වෙනවා. පසුව නවත්වන්න කියනවා.
  •  පෙම්වතා හෝ පෙම්වතිය කියනවා: “ඔයා මාව විශ්වාස කරන බව පෙන්වන්න පෞද්ගලික ඡායාරූපයක් එවන්න.”
  •  යාලුවෙකු සියලු දෙනාගෙන් අහන්නේ නැතිව කණ්ඩායම් ඡායාරූපයක් පළ කරන්න හදනවා.

කෝප නොවී හෝ බලපෑම් නොකර අනෙක් කෙනාගේ සීමාව පිළිගන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉන්පසු අහන්න:

“ගෙදරදී එකිනෙකාගේ සීමාවලට තවත් හොඳින් ගරු කරන්න අපි වෙනස් කළ හැකි එක දෙයක් මොකක්ද?”

ප්‍රශ්නයකට පිළිතුරු නොදී සිටීමටත් දරුවාට ඉඩ දෙන්න. මේක විභාගයක් වගේ කරන්න එපා. පෞද්ගලික අත්දැකීම් හෙළි කරන්න බල කරන්නත් එපා. හිතන්න කාලය දෙන්න.

Bakteens හි කැමැත්ත පිළිබඳ ලිපිය කියවා, වීඩියෝව නරඹා, ප්‍රශ්නාවලිය ගැනත් එකට කතා කරන්න පුළුවන්.

  1. අපහසු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කොහොමද?

“එපා කිව්වොත් අනෙක් කෙනාට දුක හිතුණොත්?”

“ඔයා අකමැති දෙයක් නොකරත් අනෙක් කෙනාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඔයාගේ පිළිතුරට ගරු කරන එක ඔවුන්ගේ වගකීමක්.”

“මම කලින් කැමතියි කිව්වා නම්?”

“ඔයාට හිත වෙනස් කරගන්න පුළුවන්. කලින් එකඟ වුණා කියලා නැවතත් එකඟ වෙන්න ඕනේ නැහැ.”

“මම බය වෙලා කිසිම දෙයක් කියාගන්න බැරි වුණොත්?”

“බය වුණාම සමහර වෙලාවට කතා කරන්න හෝ චලනය වෙන්න බැරි වෙන්න පුළුවන්. එපා කියන්න බැරි වුණා කියන්නේ කැමැත්ත දුන්නා කියන එක නෙවෙයි. ඒක ඔයාගේ වරදක් නෙවෙයි.”

“මම කෙනෙකුගේ සීමාවක් කඩ කළා කියලා ඔවුන් කිව්වොත්?”

“නවත්වන්න. ඇහුම්කන් දෙන්න. කළ දේට වගකීම ගන්න. ඔවුන් තවත් පැහැදිලිව කිව යුතුව තිබුණා කියලා වාද කරන්න එපා. ඔවුන්ට අවශ්‍ය දේට ගරු කරන්න. ඒක ටිකක් ඈත් වී සිටීම වුණත්.”

“මට දැනටමත් යමක් සිදු වෙලා නම්?”

“මට කිව්වට ස්තුතියි. මම ඔයාව විශ්වාස කරනවා. ඔයාට දොස් කියන්නේ නැහැ. ඔයාව ආරක්ෂා කරගන්නත් උදව් ලබාගන්නත් අපි එකට කටයුතු කරමු.”

 

පිළිතුරක් නොදන්නවා නම් මෙහෙම කියන්න:

“මට හරියටම විශ්වාස නැහැ. අපි විශ්වාසදායක තොරතුරු එකට හොයමු.”

දරුවාගේ ප්‍රශ්න විනිශ්චය නොකර කතාබහට ඉඩ තබන්න.

  1. නොකිය යුතු දේවල්

මෙවැනි ප්‍රකාශවලින් වළකින්න:

  •  “එයාව වැලඳගන්න. අකාරුණික වෙන්න එපා.”
  •  “එයා එහෙම කරන්නේ ඔයාට ආදරේ නිසා.”
  •  “ඇයි ඔයා සටන් කළේ නැත්තේ?”
  •  “ඔයාට ඒක කලින් තේරෙන්න තිබුණා.”
  •  “කාටවත් කියන්න එපා. පවුලට ලැජ්ජාවක්.”

ඒ වෙනුවට, ගරු කිරීම කියන්නේ අනෙක් අයගේ සීමා පිළිගැනීමත් බව පැහැදිලි කරන්න. පවුලේ නම ආරක්ෂා කිරීමට වඩා දරුවාගේ ආරක්ෂාව සහ සහාය ලබාගැනීම වැදගත්.

  1. සහාය ලබාගත යුත්තේ කවදාද? කොහෙන්ද?

දරුවා අපයෝජනයක් ගැන කියනවා නම් සන්සුන්ව ඇහුම්කන් දෙන්න. දරුවා මේ මොහොතේ ආරක්ෂිතදැයි තේරුම් ගැනීමට අවශ්‍ය දේ පමණක් අහන්න.

නැවත නැවත ප්‍රශ්න කිරීමෙන් වළකින්න. ආරක්ෂාව ගැන සිතා බලන්නේ නැතිව අදාළ පුද්ගලයාට මුහුණ දෙන්න යන්න එපා. උදව් කිරීමට සම්බන්ධ කරගත යුත්තේ කවුදැයි දරුවාට පැහැදිලි කරන්න. අපයෝජනය රහසක් ලෙස තබාගන්න පොරොන්දු වෙන්න එපා.

පෙනෙන තුවාල නොතිබුණත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ පහත සේවාවලින් සහාය ලබාගන්න පුළුවන්:

1929 — ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා උපකාරක සේවාව: වයස අවුරුදු 18ට අඩු දරුවන් සම්බන්ධ අපයෝජන හෝ අනාරක්ෂිත තත්ත්වයන් සඳහා.

109 / 011 244 4444 — පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය: අපයෝජන සහ හිංසාව පිළිබඳ පැමිණිලි සඳහා.

1938 — කාන්තා උපකාරක සේවාව: කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසාව සම්බන්ධ සහාය සඳහා.

1926 — ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව: මානසික සෞඛ්‍ය සහාය සඳහා.

1990 — සුව සැරිය: හදිසි ගිලන් රථ සේවාව සඳහා.

071 801 5702 — Bakteens/Bakamoono WhatsApp: ප්‍රශ්න විමසීමට සහ අවශ්‍ය සහාය වෙත යොමු වීමට මඟපෙන්වීම සඳහා.

දරුවාට ඇසිය යුතු පණිවිඩය මෙයයි:

ඔයාගේ අදහස් වැදගත්. ඔයාගේ සීමාවලට ගරු කළ යුතුයි. ඔයාට මට කියන්න පුළුවන්. මම ඔයාට උදව් කරන්නම්.