“අපි විහිළුවට කිව්වේ.”
“ඕවා ගණන් ගන්න එපා.”
“ඉස්කෝලේ ඔහොම තමයි.”
“කියන්න ගියොත් තවත් කරයි.”
ඔයාටත් මේ වගේ දේවල් අහන්න ලැබිලා තියෙනවාද?
විහිළුවක් කියලා පටන්ගන්න දෙයක්, සමහර වෙලාවට කෙනෙකුට පාසල් යන්නත් බය හිතෙන තරමට බරපතළ වෙන්න පුළුවන්.
ඔයාට බයක්, ලැජ්ජාවක්, වේදනාවක් හෝ අනාරක්ෂිත බවක් දැනෙන දෙයක් ඉවසගෙන ඉන්න අවශ්‍ය නැහැ. හිරිහැරයට ලක්වීම ඔයාගේ වරදක් නොවේ. ඒ ගැන කෙනෙකුට කීම “කේලම් කීමක්” හෝ “දුර්වලකමක්” නොවේ.
හිරිහැර හා දාමරිකකම් කියන්නේ මොකක්ද?
කෙනෙකුට බය හිතවන්න, රිදවන්න, ලැජ්ජාවට පත් කරන්න හෝ තනි කරන්න තමන්ට තිබෙන බලය භාවිත කිරීම හිරිහැර කිරීමක් එහෙමත් නැතිනම් දාමරිකක කමක් ලෙස හදුන්වන්න පුළූවන්.
මේ බලය ශරීර ශක්තිය විතරක් නෙවෙයි. වයස, පාසලේ තනතුර, ජනප්‍රියත්වය, යහළුවන්ගේ කණ්ඩායමක් හෝ කෙනෙකු ගැන දන්නා පෞද්ගලික තොරතුරුත් බලයක් ලෙස භාවිත කරන්න පුළුවන්.
හිරිහැර හා දාමරිකකම් සිදු වෙන්න පුළුවන් ස්ථාන මොනවාද?
පන්තියේදී
පාසල් පිට්ටනියේදී
වැසිකිළියේදී
පාසල් බස් රථයේදී
ටියුෂන් පන්තියේදී
ක්‍රීඩා පුහුණුවේදී
WhatsApp groups හෝ සමාජමාධ්‍ය තුළ
online games ක්‍රීඩා කරන අතරතුර
හිරිහැරයක් නැවත නැවත සිදුවෙන්න පුළුවන්. නමුත් බරපතළ පහරදීමක්, ලිංගික හිරිහැරයක්, තර්ජනයක් හෝ පෞද්ගලික ඡායාරූපයක් බෙදාහැරීමක් එක් වරක් සිදු වුවත් එය වහාම විශ්වාසවන්ත කෙනෙකුට කීම වැදගත්.
හිරිහැර කියන්නේ පහරදීම විතරක් නොවේ
හිරිහැර හා දාමරිකකම් වලට උදාහරණ
ගැසීම, තල්ලු කිරීම, පයින් ගැසීම හෝ හිතාමතා ඇඟේ හැප්පීම
කෑම, මුදල් හෝ පාසල් උපකරණ බලෙන් ගැනීම
බෑගයට, පොත්වලට හෝ වෙනත් දේවලට හානි කිරීම
ශරීරය, බර, උස, සමේ පැහැය, දත් හෝ කටහඬ ගැන නම් කීම
ආබාධයක්, ආගමක්, ජාතියක්, භාෂාවක් හෝ පවුලේ තත්ත්වයක් නිසා අපහාස කිරීම
“ගැහැණු ළමයෙක් වගේ” හෝ “පිරිමියෙක් නෙවෙයි” කියලා ලැජ්ජාවට පත් කිරීම
පියයුරු, ඔසප් වීම හෝ වැඩිවිය පැමිණීමේදී ශරීරයේ ඇතිවන වෙනස්කම් ගැන විහිළු කිරීම
ඔයා අකමැති විදිහට ඇල්ලීම
ලිංගික අදහස්, විහිළු හෝ ප්‍රශ්න කිරීම
කටකතා පැතිරවීම
යහළුවන්ගෙන් හිතාමතා වෙන් කිරීම
රහසක් හෙළි කරන බවට තර්ජනය කිරීම
අපහාසාත්මක posts, comments හෝ memes පළ කිරීම
ඔයාගේ photo එකක් වෙනස් කරලා share කිරීම
ඔයාගේ නමින් fake account එකක් සෑදීම
password එක ඉල්ලීම හෝ account එකට ඇතුළු වීම
පෞද්ගලික messages, photos හෝ videos ඔයාගේ අවසරය නැතුව share කිරීම
මේවා සිදු කරන්නේ ඔයාගේ වයසේ තවත් කෙනෙකු විතරක් නෙවෙයි. වැඩිමහල් ශිෂ්‍යයෙකු, ශිෂ්‍ය නායකයෙකු, ගුරුවරයෙකු, පුහුණුකරුවෙකු හෝ වෙනත් වැඩිහිටියෙකු අතින්ද හිරිහැර සහ දාමරිකකම් සිදුවෙන්න පුළුවන්.
ඒක ඇත්තටම විහිළුවක්ද?
හොඳ විහිළුවකදී හැමෝටම හිනා යනවා. කෙනෙක් “එපා” කිව්වොත් ඒක නවත්වනවා.
නමුත්:
- ඔයාට රිදෙනවා නම්
- බයක් හෝ ලැජ්ජාවක් දැනෙනවා නම්
- “එපා” කිව්වත් දිගටම කරනවා නම්
- ඔයාට පන්තියට, පාසලට හෝ online එන්න බය හිතෙනවා නම්
ඒක සාමාන්‍ය විහිළුවක් නොවේ.
“අපි විහිළුවට කළේ” කියන එකෙන් ඔයාට සිදු වූ හානිය නැති වෙන්නේ නැහැ.
ඔබට කවුරුන් හෝ හිරිහැර හෝ දාමරිකකම් කරනවා නම් මොකද කරන්නේ?
පළමුව ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්න.
එය ආරක්ෂිත නම්, පැහැදිලිව මෙහෙම කියන්න:
“ඒක නවත්වන්න. මම ඒකට කැමති නැහැ.”
ඊට පස්සේ එතැනින් ඉවත් වෙලා විශ්වාසවන්ත කෙනෙකු සිටින තැනකට යන්න.
ඔයාට අනතුරක් වෙන්න පුළුවන් නම්, තනියම ඒ පුද්ගලයාට මුහුණ දෙන්න හෝ ආපසු පහර දෙන්න උත්සාහ කරන්න එපා.
හැකි ඉක්මනින් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න. ඒ:
- අම්මා, තාත්තා හෝ භාරකරු
- ඔයා විශ්වාස කරන නෑදෑයෙක්
- පන්ති භාර ගුරුවරයා
- ඔයා විශ්වාස කරන වෙනත් ගුරුවරයෙක්
- පාසල් උපදේශකවරයා
- අංශ ප්‍රධානියා
- විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති වෙන්න පුළුවන්.
මොවුන් ඔයාව විශ්වාස නොකළොත් හෝ හිරිහැරය නැවැත්වීමට කිසිම දෙයක් නොකළොත්, එතැනින් නවතින්න එපා. වෙනත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න.
ඔයාට උදව් ලැබෙන තුරු කියන්න – සිදු වූ දේ සටහන් කරගන්න.
සිදු වූ දිනය සහ වේලාව
සිදු වූ ස්ථානය
කළ හෝ කියූ දේ
සම්බන්ධ වූ අය
එය දැක්ක අය
ඔයා ඒ ගැන කිව්වේ කාටද?
ඒ පුද්ගලයා ගත් පියවර මොනවාද?
Online හිරිහැරයක් නම් screenshots, usernames, links සහ messages delete නොකර ආරක්ෂිතව තබාගන්න. ඒවා social mediaවල නැවත share කරන්න එපා.
ඔබේ හෝ වෙනත් දරුවෙකුගේ නිරුවත් හෝ ලිංගික photo එකක් තිබෙනවා නම්, ඒක සාක්ෂියක් ලෙසවත් වෙනත් අයට forward කරන්න එපා. විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියලා 1929 හෝ පොලීසිය අමතන්න.
පාසලට පැමිණිලි කරන්නේ කොහොමද?
- පාසලේ විශ්වාසවන්ත කෙනෙකුට කියන්න
පන්ති භාර ගුරුවරයාට, පාසල් උපදේශකවරයාට, අංශ ප්‍රධානියාට හෝ විදුහල්පතිවරයාට සිදු වූ දේ කියන්න.
ඔයාට තනියම කතා කරන්න බය නම්, යහළුවෙකු, සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකු එක්ක යන්න.
ඔයාට මෙහෙම කියන්න පුළුවන්:
“මට පාසලේදී හිරිහැරයක් සිදුවෙනවා. ඒක නිසා මට බයක් සහ අනාරක්ෂිත බවක් දැනෙනවා. මේක නවත්වන්න මට උදව් අවශ්‍යයි.”
- හිරිහැර කරන්නේ ගුරුවරයෙකු නම්
එම ගුරුවරයාට තනියම මුහුණ දෙන්න අවශ්‍ය නැහැ.
අම්මාට, තාත්තාට, භාරකරුට හෝ වෙනත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න. ඔවුන් සමඟ විදුහල්පතිවරයාට හෝ එම ගුරුවරයාට වඩා ඉහළ වගකීමක් ඇති නිලධාරියෙකුට පැමිණිලි කරන්න.
හිරිහැර කරන්නේ විදුහල්පතිවරයා නම්, විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහාය ඇතිව කලාප අධ්‍යාපන කාර්යාලයට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හෝ පොලීසියට දැනුම් දෙන්න.
- ලිඛිත පැමිණිල්ලක් දෙන්න
ඔයාට තනියම ලිපියක් ලියන්න අවශ්‍ය නැහැ. විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උදව් ඉල්ලන්න.
ලිපියේ මේ තොරතුරු ඇතුළත් කරන්න:
ඔයාගේ නම සහ පන්තිය
සිදු වූ දේ
සිදු වූ දිනය සහ ස්ථානය
සම්බන්ධ වූ අය
තිබෙන සාක්ෂි
ඔයාට දැන් දැනෙන අවදානම
පාසලෙන් අවශ්‍ය උදව්
ලිපියේ හෝ email එකේ පිටපතක් තබාගන්න.
පැමිණිලි කළ නිසා ඔයාට දඬුවම් කිරීම, ලැජ්ජාවට පත් කිරීම හෝ පන්තියෙන් ඉවත් කිරීම හරි නැහැ. පැමිණිල්ලෙන් පස්සේ කවුරුහරි ඔයාට තර්ජනය කරනවා නම් ඒ ගැනත් වහාම කියන්න.
- පාසල කිසිම පියවරක් නොගත්තොත්
විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහාය ඇතිව අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයට හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න.
අධ්‍යාපන අමාත්‍යාංශයේ online පැමිණිලි පෝරමය හරහාත් පැමිණිල්ලක් යවන්න පුළුවන්:
අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් යොමු කරන්න
කලින් පාසලට දුන් ලිපි, screenshots සහ ලැබුණු පිළිතුරුත් ළඟ තබාගන්න.
වහාම උදව් ඉල්ලන්න ඕනෑ වෙලාවල්
සමහර සිදුවීම් ගැන පාසල පියවරක් ගන්නකම් බලාගෙන ඉන්න ඕනෑ නැහැ.
මේ වගේ දෙයක් සිදු වුණොත් වහාම විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න:
- බරපතළ පහරදීමක්
- ලිංගික හිරිහැරයක් හෝ අපයෝජනයක්
- ඔයා අකමැති විදිහට ශරීරය ඇල්ලීම
- ආයුධයක් පෙන්වා හෝ වෙනත් ආකාරයකින් තර්ජනය කිරීම
- ඔයාව හෝ පවුලේ කෙනෙකුට හානි කරන බව කීම
- නිරුවත් හෝ ලිංගික photos/videos ඉල්ලීම
- එවැනි photos/videos බෙදාහැරීම හෝ බෙදාහරින බවට තර්ජනය කිරීම
- ඔයාට පාසලෙන් හෝ ගෙදරින් පැනලා යන්න හිතෙන තරම් බයක් ඇතිවීම
- ඔයාටම හානි කරගන්න සිතීම
උදව් ඉල්ලන්න පුළුවන් තැන්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය — 1929
ඕනෑම දුරකථන ජාලයකින් නොමිලේ අමතන්න පුළුවන්. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම සේවාව තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය — 109
හදිසි පොලිස් සහාය — 119
ශ්‍රී ලංකා CERT — 101 (Online සිදුවීමක් වාර්තා කරන්න)
account එකක් hack කිරීම, fake account එකක් සෑදීම හෝ වෙනත් cyber ගැටලුවක් සම්බන්ධයෙන් උදව් ලබාගන්න පුළුවන්.
1929 හෝ පොලීසිය අමතන්න පාසලේ අවසරය අවශ්‍ය නැහැ. ඔයාටම අමතන්න පුළුවන්. නැත්නම් විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් ඒ සඳහා උදව් ඉල්ලන්න.
යහළුවෙකුට හිරිහැර කරනවා දැක්කොත්
හිරිහැරයට ලක්වන යහළුවා එක්ක එතැනින් ඉවත් වෙන්න.
“ඔයාට වුණේ වැරදි දෙයක්” කියලා ඔවුන්ට කියන්න.
ඔවුන් කියන දේ අහන්න.
විශ්වාසවන්ත වැඩිහිටියෙකුට දැනුම් දෙන්න.
online post එකක් නම්එය report කරන්න.
සාක්ෂි ආරක්ෂිතව තබාගන්න.
ඔවුන්ගේ කතාව අවසරයක් නැතුව යහළුවන් අතර පතුරවන්න එපා.
නමුත් යහළුවා අනතුරක නම්, කෙනෙක් ඔවුන්ට තර්ජනය කරනවා නම් හෝ ඔවුන් තමන්ටම හානි කරගැනීම ගැන කතා කරනවා නම්, ඒක රහසක් ලෙස තබාගන්න එපා. වහාම විශ්වාසවන්ත වැඩිහිටියෙකුට හෝ 1929ට කියන්න.
ඔයා හිරිහැර හා දාමරිකකම් කරන කණ්ඩායමක සිටිනවා නම්?
සමහර වෙලාවට යහළුවන් එක්ක එකතු වෙන්න, ජනප්‍රිය වෙන්න හෝ තමන්ට හිරිහැර වෙයි කියන බය නිසා කෙනෙක් තවත් කෙනෙකුට හිනා වෙන්න හෝ රිදවන්න එකතු වෙන්න පුළුවන්.
ඔයා එහෙම දෙයක් කළා නම්, “දැන් පරක්කු වැඩියි” කියලා හිතන්න එපා.
ඒක නවත්වන්න.
හානිකර post හෝ comment එකක් නම් ඉවත් කරන්න.
ඒක තවත් share කරන්න එපා කියලා යහළුවන්ට කියන්න.
ඔයා කළ දෙයට වගකීම ගන්න.
ආරක්ෂිත සහ සුදුසු නම් සමාව ඉල්ලන්න.
තත්ත්වය නිවැරදි කරන්න වැඩිහිටියෙකුගෙන් උදව් ගන්න.
සමාව ඉල්ලීම කියන්නේ “විහිළුවක් කළේ” කියලා නිදහසට කරුණු කීම නෙවෙයි. ඔයා කළ දෙය අනෙක් කෙනාට බලපෑ ආකාරය පිළිගැනීමයි.
මතක තබාගන්න
හිරිහැරයට ලක්වීම ඔයාගේ වරදක් නොවේ.
ඔයාගේ ශරීරය, ඇඳුම, සමේ පැහැය, කටහඬ, හැසිරීම, යහළුවන්, පවුල හෝ online ජීවිතය නිසා කිසිවෙකුට ඔයාට හිරිහැර කරන්න අයිතියක් ලැබෙන්නේ නැහැ.
පළමු වතාවේ කියපු කෙනා උදව් නොකළත්, තවත් කෙනෙකුට කියන්න.
ඔයාට බයක් නැතුව පාසල් යන්න, ඉගෙනගන්න, සෙල්ලම් කරන්න සහ යහළුවන් සමඟ ඉන්න අයිතිය තිබෙනවා.
