මානසික සුවය ගැන කතා කරමු

මානසික සෞඛ්‍යය කියන්නේ අපි සිතන, හැඟෙන සහ එදිනෙදා ජීවිතයේ අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරයයි. ශාරීරික සෞඛ්‍යය වගේම අපි හැමෝටම මානසික සෞඛ්‍යයක් තිබෙනවා.

නව යොවුන් වියේදී අපේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදුවෙනවා. පාසල් වැඩ, අමතර පන්ති, විභාග, පවුලේ බලාපොරොත්තු, යාළුකම්, ආදර සම්බන්ධතා, ශරීරයේ වෙනස්කම්, මුදල් ගැටලු, හිරිහැර හා ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැලකීම සහ අන්තර්ජාලයේ සිදුවන දේවල් අපට හැඟෙන ආකාරයට බලපාන්න පුළුවන්.

සමහර දවස්වල ඔබට සතුටින් සහ විශ්වාසයෙන් සිටින්න පුළුවන්. තවත් දවසක බය, තරහ, තනිකම, අවුල්සහගත බව හෝ අධික වෙහෙස දැනෙන්න පුළුවන්. අපහසු හැඟීම් ඇතිවීමෙන් ඔබ තුළ වරදක් තිබෙන බවක් අදහස් වෙන්නේ නැහැ. නමුත්, ඒ හැගීම් කළමණාකරනය කර ගන්න අපට සහය ලබා ගන්න පුළුවන්.

අපහසු හැඟීම් කළමනාකරණය කරගැනීමට සහ යම් කිසි සහනයක් ලබා ගැනීමට ඔබට සුළු දේවල් කිහිපයක් කරන්න පුළුවන්.

  • විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කිරීම
  • නියමිත වෙලාවට ආහාර ගැනීම සහ ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම
  • හොද නින්දක් ලබා ගැනීම
  • ශරීරය ක්‍රියාශීලීව තබා ගැනීම
  • සමාජ මාධ්‍යයෙන් ටික වේලාවක් ඈත් වී සිටීම
  • ලිවීම, චිත්‍ර ඇඳීම, සංගීතයට සවන් දීම හෝ නිර්මාණාත්මක දෙයක් කිරීම
  • ඔබට ආරක්ෂිත බව දැනෙන පුද්ගලයන් සමඟ කාලය ගත කිරීම
  • ඔබට දරාගන්න අපහසු බවක් දැනෙන විට සෙමින් හුස්ම ගැනීමට උත්සාහ කිරීම

මේ දේවල් ඔබට යම් සහනයක් ලබාදිය හැකි වුවත්, ඒවා වෘත්තීය ප්‍රතිකාර හෝ සහාය වෙනුවට භාවිත කිරීමට බැහැ. ඔබට තත්ත්වය කළමනාකරණය කරගැනීම අපහසු නම්, වැඩිදුර සහාය ඉල්ලීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්.

ඔබේ සිතුවිලි හෝ හැඟීම්:

  • පාලනය කරගැනීමට අපහසු වෙමින් තිබෙනවා නම්,
  • දිගු කාලයක් පවතිනවා නම් හෝ නැවත නැවත ඇති වෙනවා නම්,
  • ඔබේ නින්දට, ආහාර ගැනීමට, පාසල් වැඩවලට හෝ සම්බන්ධතාවලට බලපානවා නම්,
  • එදිනෙදා සාමාන්‍ය වැඩ කිරීමට අපහසු කරනවා නම්,
  • පාසල, යහළුවන් හෝ පවුලේ අය මඟහැර සිටීමට ඔබව යොමු කරනවා නම්,
  • ඔබට හෝ වෙනත් කෙනෙකුට හානි කිරීමට සිතෙනවා නම්,
  • ජීවත් වීමෙන් වැඩක් නැහැ කියලා දැනෙනවා නම්,

උදව් ඉල්ලීම වැදගත්.

තත්ත්වය තවත් දරාගන්න බැරි තැනට පැමිණෙන තෙක් බලා සිටීමට අවශ්‍ය නැහැ. කලින් උදව් ඉල්ලීමෙන් ඔබට සුදුසු සහාය සොයාගැනීම පහසු වෙන්න පුළුවන්.

කතාබහ ආරම්භ කරන්නේ කොහොමද?

ඔබේ දෙමාපියෙකු, රැකබලා ගන්නා වැඩිහිටියෙකු, ඥාතියෙකු, ගුරුවරයෙකු, පාසල් උපදේශකවරයෙකු, පුහුණුකරුවෙකු, වෛද්‍යවරයෙකු හෝ ඔබ විශ්වාස කරන වෙනත් වැඩිහිටියෙකු සමඟ මානසික සෞඛ්‍යය ගැන කතා කරන්න පුළුවන්.

කතා කිරීම අපහසු නම්, පණිවිඩයක් යවන්න හෝ ඔබට කියන්න අවශ්‍ය දේ ලියා දෙන්න. ඔබට මේ විදියට කතා බහ ආරම්භ කරන්න පුළුවන්.

  • “මේ දවස්වල මට මම වගේ දැනෙන්නේ නැහැ.”
  • “මට පොඩි කරදරයක් තියෙනවා. ඔයාගෙන් උදව්වක් ඕනේ.”
  • “මේ දේවල් දරාගන්න මට අමාරුයි.”
  • “මට බනින්නැතුව ටිකක් අහගෙන ඉන්න පුළුවන්ද?”
  • “මට කවුරුහරි එක්ක කතා කරන්න ඕනේ කියලා හිතෙනවා.”
  • “මට බයක් දැනෙනවා.”
  • “මට හරියට නින්ද යන්නේ නෑ.”

ඔබ මුලින්ම කතා කළ කෙනා ඔබට සවන් දෙන්නේ නැති නම් හෝ ඔබ බලාපොරොත්තු වන සහය ලැබෙන්නේ නැති නම්, තවත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න.

ඔබට හදිසි උදව් අවශ්‍ය නම්…

ඔබ ඔබටම හානි කරගනීවි කියලා සිතෙනවා නම්, දැනටමත් බරපතළ ලෙස හානි කරගෙන තිබෙනවා නම්, ඖෂධ අධික ප්‍රමාණයක් ගෙන තිබෙනවා නම් හෝ ඔබ අනතුරක සිටිනවා නම්:

  • ඔබට හානි කරගැනීමට භාවිත කළ හැකි දෙයකින් ඈත් වෙන්න.
  • වෙනත් පුද්ගලයන් සිටින ආරක්ෂිත ස්ථානයකට යන්න.
  • විශ්වාසවන්ත වැඩිහිටියෙකුට වහාම කියන්න.
  • ළඟම තිබෙන රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට හෝ OPD එකට යන්න.
  • හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතන්න.
  • ඔබ අනතුරක සිටිනවා නම් සහ පොලිස් සහාය අවශ්‍ය නම් 119 අමතන්න.

ඔබට මේ සේවාවන් ද අමතන්න පුළුවන්:

  • 1926 – ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව: මානසික සෞඛ්‍ය සහාය සහ මඟපෙන්වීම ලබාගැනීමට.
  • 1333 – අර්බුද සහාය සේවාව: නොමිලේ සහ රහසිගතව පැය 24 පුරාම චිත්තවේගීය සහ අර්බුද සහාය ලබාගැනීමට.
  • 1929 – ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාව: ඔබ වයස අවුරුදු 18ට අඩු නම් සහ අපයෝජනය, නොසලකා හැරීම, ප්‍රචණ්ඩත්වය, සූරාකෑම හෝ අනාරක්ෂිත තත්ත්වයක් අත්විඳිනවා නම්.
  • 0112 682 570 ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: නොමිලේ සහ රහසිගතව මානසික සහාය ලබාගැනීමට.

එක් අංකයක් සම්බන්ධ නොවුණොත්, වෙනත් සේවාවක් අමතන්න හෝ ළඟම තිබෙන රෝහලට යන්න. ඔබ වහාම අනතුරක සිටිනවා නම් තනිවම සිටින්න එපා.

මගේ මානසික සෞඛ්‍යය සමස්ත සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?

අපේ මනස සහ ශරීරය එකිනෙකට සම්බන්ධයි. එකකට සිදුවන දෙයක් අනෙකටත් බලපෑම් ඇති කරනවා.

ඔබ දිගු කාලයක් තිස්සේ කනස්සල්ලෙන්, බියෙන්, තනිකමෙන් හෝ පීඩනයෙන් සිටිනවා නම්, ඔබේ ශරීරයත් එය විවිධ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්.

  • නිදාගැනීමට අපහසු වීම හෝ නිතරම නිදාගැනීමට සිතීම
  • කෑම රුචිය අඩු වීම හෝ වෙනදාට වඩා වැඩිපුර ආහාර ගැනීම
  • හිසරදය, බඩේ අමාරුව හෝ ශරීරයේ වේදනාවන් ඇතිවීම
  • විවේක ගත්තත් වෙහෙස දැනීම
  • අවධානය යොමු කිරීමට හෝ දේවල් මතක තබාගැනීමට අපහසු වීම
  • පාසල් වැඩ, ක්‍රීඩා, යාළුකම් හෝ ඔබ සාමාන්‍යයෙන් කැමති දේවල් ගැන උනන්දුව අඩු වීම
  • නොසන්සුන් බව, කේන්තිය හෝ තරහ වැඩිවීම යන ලක්ෂණ ඒවාගෙන් කිහිපයක්.

සෑම ශාරීරික ලක්ෂණයක්ම මානසික සෞඛ්‍යය නිසා ඇතිවන බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. ශාරීරික ලක්ෂණ ඇතිවීමට විවිධ හේතු තිබෙන්න පුළුවන්. ඒවා දිගටම පවතිනවා නම්, බරපතළ වෙනවා නම් හෝ ඔබව කනස්සල්ලට පත් කරනවා නම්, විශ්වාවන්ත වැඩිහිටියෙකුගෙන් සහය ලබා ගැනීම වැදගත්.

අසනීප වීම, ආබාධිත තත්ත්වයක් සමඟ ජීවත් වීම, දිගුකාලීන වේදනාවක් තිබීම හෝ ශරීරයේ වෙනස්කම් අත්විඳීම ආදියත් ඔබේ මානසික සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.

මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් සහය ඉල්ලන විට “ශක්තිමත්ව ඉන්න”, “ඕවා ගැන හිතන්න එපා” හෝ “ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න” වැනි උපදෙස් ඔබට ලැබෙන්නට පුළුවන්. නමුත් බොහෝ විට එවැනි උපදෙස් වලින් සහනයක් ලැබෙන්නේ නෑ. එවැනි අවස්ථාවකදී තවත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කතා කර සහය ලබා ගැනීමට පුළුවන්.

මානසික සෞඛ්‍යය සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අතර සම්බන්ධය මොකක්ද?

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය යනුවෙන් අදහස් වන්නේ ගැබ්ගැනීම හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ගැන පමණක් නොවේ. එයට ඔබේ ශරීරය, වැඩිවියට පත්වීම, ඔසප් වීම, ලිංගික සෞඛ්‍යය, සම්බන්ධතා, කැමැත්ත, ආරක්ෂාව සහ නිවැරදි තොරතුරු හා ගෞරවනීය සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති අයිතියත් ඇතුළත්. ඔබේ මානසික සහ සමාජීය සුවපහසුවත් එහි කොටසක්.

වැඩිවියට පත්වීම, ඔසප් වීම සහ තම ශරීරය ගැන ඇති හැඟීම

වැඩිවියට පත්වීමත් සමඟ ඔබේ ශරීරය, හැඟීම් සහ සම්බන්ධතා වෙනස් වෙන්න පුළුවන්. ඔසප් වීම, ශිෂ්ණය ප්‍රාණවත් වීම, නින්දේදී ශුක්‍රාණු පිටවීම, කුරුලෑ, ශරීරයේ රෝම ඇතිවීම, පියයුරු වර්ධනය වීම, ශරීරයේ හැඩය හෝ ඔබේ යහළුවන්ගේ වේගයටම ඔබේ ශරීරය වර්ධනය නොවීම ගැන ඔබට අවුල් සහගත බවක් හෝ කනස්සල්ලක් දැනෙන්න පුළුවන්.

මෙම මානසික පීඩනය සමහරවිට ඔබේ නින්දට, කෑම රුචියට සහ ඔසප් චක්‍රයට බලපාන්න පුළුවන්. ඒ වගේම ඔසප් වේදනාව, අධික රුධිර වහනය, අක්‍රමවත් ඔසප් වීම සහ ඇඳුම්වල ලේ පැල්ලම් ඇතිවේවි යන බියත් ඔබේ මනෝභාවයට, ආත්මවිශ්වාසයට, පාසල් පැමිණීමට බාධා එල්ල කරන්න ඉඩ තිබෙනවා.

සමාන්‍යයෙන් ඔසප් වීම, ස්වප්න මෝදනය වැනි මාතෘකා පිළිබද විවෘත කතා බහක් පවුල තුළ වත් පාසලේවත් නොමැති නිසා නව යොවුන් සිටින ඔබ තනිව ඒ ගැන කල්පනා කරනවා වන්නට පුළුවන්. නමුත් මේවා සැඟවිය යුතු දේවල් නොවෙයි. විශ්වාවන්ත වැඩිහිටියෙකු සමග කතා බහ කිරීමට මැලි වෙන්න එපා.

සම්බන්ධතා, කැමැත්ත සහ මානසික සෞඛ්‍යය

යහපත් සම්බන්ධතාවයකදී ඔබට ගෞරවය සහ ආරක්ෂාව දැනිය යුතුයි. ඔබට ඔබ ලෙසම සිටීමට, ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට, ඔබේම තීරණ ගැනීමට, සීමාවන් තීරණය කිරීමට සහ “බැහැ” කියන්න හැකියාව තිබිය යුතුයි.

ඔබේ යහළුවෙකු, වැඩිහිටියෙකු හෝ ආදරවන්තයෙකු,

  • ඔබ කතා කරන පුද්ගලයන් හෝ ඔබ යන තැන් පාලනය කරනවා නම්,
  • ඔබේ දුරකථනය පරීක්ෂා කරනවා නම් හෝ මුරපද ඉල්ලා සිටිනවා නම්,
  • පෞද්ගලික හෝ නිරුවත් ඡායාරූප යවන්න කියලා බලපෑම් කරනවා නම්,
  • ලිංගික ක්‍රියාවකට ඔබට බලපෑම් කරනවා නම් හෝ බල කරනවා නම්,
  • ඔබ එකඟ නොවුණොත් ඔබව අත්හැර යන බවට හෝ තමන්ටම හානි කරගන්නා බවට තර්ජනය කරනවා නම්,
  • ඔබේ ශරීරය, සමාජභාවය, ලිංගිකත්වය හෝ පෙනුමට අපහාස කරනවා නම්,
  • ඔබට බියක්, ලැජ්ජාවක් හෝ තමන් වටින්නේ නැහැ කියන හැඟීමක් ඇති කරනවා නම්,

එය යහපත් සම්බන්ධතාවයක් නොවෙයි. එවැනි සම්බන්ධතාවයක් ප්‍රභල ලෙස ඔබේ මානසික සෞඛ්‍යයට හානි කරනවා.

මෙවැනි හැසිරීම් ආදරයේ සලකුණු නොවේ. ඔබේ නිදහස් කැමැත්ත නැතිව යමක් සිදු වුණා නම්, එය ඔබේ වරදක් නොවේ. විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න නැතිනම් අපට කතා කරන්න.

ලිංගික හා ජ්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තීරණවලට මානසික සෞඛ්‍යය බලපානවාද?  

කෙනෙකුට දැඩි කනස්සල්ලක්, විෂාදයක්, තනිකමක් හෝ බලාපොරොත්තු රහිත බවක් දැනෙන විට පැහැදිලිව සිතීමට, තම සීමාවන් ප්‍රකාශ කිරීමට හෝ උදව් ඉල්ලීමට අපහසු වනවා. සමහරු අවදානම් තීරණ ගන්න, තමන්ට ඇත්තටම අවශ්‍ය නොවන දෙයකට එකඟ වෙන්න හෝ අපහසු හැඟීම් පාලනය කරගැනීම සඳහා ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු වෙන්න පුළුවන්.

මානසික සෞඛ්‍ය ගැටලුවක් තිබීමෙන් කෙනෙකු වගකීමක් නැති හෝ “නරක” පුද්ගලයෙකු වෙන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ ඔවුන්ට දොස් පැවරීම හෝ විනිශ්චය කිරීම වෙනුවට ඔවුන් අපගේ සහකම්පනය, නිවැරදි තොරතුරු, සහාය සහ සෞඛ්‍ය සේවා අවශ්‍ය වන බවයි.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අත්දැකීම් සහ මානසික සෞඛ්‍යය

ලිංගික හා ප්‍රජනන ජීවිතයේ අත්දැකීම් අපගේ මානසික සෞඛ්‍යයට බලපානවා වගේම මානසික තත්ත්වය ලිංගික හා ප්‍රජනන තීරණ වලට බලපානවා.

සැලසුම් නොකළ ගැබ්ගැනීමක්, ගැබ්ගෙන ඇතිදැයි ඇතිවන බියක්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක්, ආදර සම්බන්ධතාවයක් තුළ සිදුවන හිංසනයක්, සමාජභාවය සහ ලිංගික දිශානතිය නිසා සිදුවන වෙනස්කොට සැලකීමක් යනාදිය බිය, ලැජ්ජාව, දුක සහ මානසික පීඩනය ඇති කරන්න පුළුවන්.

නිවැරදි තොරතුරු නොමැති වීම නිසා මේ බිය සහ කනස්සල්ල තවත් වැඩි වනවා. වැඩිහිටියන් හෝ සෞඛ්‍ය සේවකයන් තමන්ව විනිශ්චය කරතැයි බිය නිසා ඔබ වැනි නව යොවුන් වියේ දරුවන් තොරතුරු ලබා ගැනීමට, ප්‍රශ්න ඇසීමට පසුබට වනවා. වයසට ගැළපෙන නිවැරදි තොරතුරු ලබා ගැනීමෙන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍යයත් යහපත් කර ගැනීමට ඔබට පුළුවන්.

AI උපදේශනය මගින් සහයක් ලබා ගැනීම

ඔබට දුකක්, බයක් හෝ තනිකමක් දැනෙන වෙලාවක AI chatbot එකක් සමඟ කතා කිරීම පහසුදෙයක් වගේ දැනෙන්න පුළුවන්.

AI මඟින් ඔබේ සිතුවිලි පිළිවෙළකට ලියන්න, සන්සුන් වීමේ සාමාන්‍ය ක්‍රම ඉගෙනගන්න හෝ උපදේශකයෙකුගෙන් අහන්න ඕනෑ ප්‍රශ්න සූදානම් කරගන්න උදව් ලැබෙන්න පුළුවන්.

නමුත් AI chatbot එකක් සැබෑ උපදේශකයෙකු, මනෝවිද්‍යාඥයෙකු හෝ වෛද්‍යවරයෙකු නොවෙයි. එයට හැඟීම් නැහැ. ඔබ කියන දේ මනුෂ්‍යයෙකු වගේ තේරුම්ගන්නෙත් නැහැ.

AI උපදේශකයන්  වැරදි උපදෙස් සත්‍යයක් වගේ ඉදිරිපත් කිරීමට ඉඩතිබෙනවා

AI ලබාදෙන පිළිතුරක් විශ්වාසවන්ත විදිහට ලියා තිබුණත් එය වැරදි වෙන්න පුළුවන්. ඔබට නැති මානසික සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවා කියලා හඟවන්නත්, අනාරක්ෂිත උපදෙස් දෙන්නත් පුළුවන්.

AI කියන දෙයක් පමණක් පදනම් කරගෙන රෝග විනිශ්චයක් කරගන්න හෝ ඖෂධ ගැන තීරණ ගන්න එපා.

AI උපදේශකයන්ට බරපතළ අවදානමක් හඳුනාගැනීමට නොහැකි වීමට පුළුවන්

පුහුණුව ලැබූ උපදේශකයෙකුට ඔබේ වචන, කටහඬ සහ හැසිරීම සලකා බලා ඔබට ඉක්මන් සහායක් අවශ්‍යද කියලා තේරුම්ගන්න පුළුවන්.

AI chatbot එකකට ඔබට තිබෙන අවදානම නිවැරදිව තේරුම්ගැනීමට නෙහැකි වන්න පුළුවන්. එසේත් නොමැතිනම්, එබේ අවදානම නොසලකා හරින්න පුළුවන්. ඔබට හානි කරගැනීමේ සිතුවිලි තිබෙනවා නම්, අපයෝජනයකට ලක්වෙනවා නම් හෝ හදිසි අනතුරක සිටිනවා නම්, AI එකකට ඔබ ළඟට එන්න හෝ ඔබව ආරක්ෂිත ස්ථානයකට ගෙනයන්න බැහැ.

AI chatbot එකට ඇතුළු කරන ඔබේ පෞද්ගලික තොරතුරු රහසිගත නොවන්නට පුළුවන්

AI chatbot එකට ලියන දේ app එක හෝ සමාගම විසින් වෙනත් සමාගම් සමග බෙදා ගැනීමට ඉඩ තිබෙනවා. එමෙන්ම  තම පද්ධති සංවර්ධනය කිරීමටත්  ඔබ ලබා දෙන තොරතුරු භාවිත කරන්න පුළුවන්.

ඒ නිසා ඔබේ සම්පූර්ණ නම, ලිපිනය හෝ පාසල, දුරකතන අංක, මුරපද, බැංකු ගිණුම් තොරතරු, වෛද්‍ය වාර්තා ආදිය AI chatbot වලට ඇතුළු කරන්න එපා.

AI එකක් මත ඕනෑවට වඩා විශ්වාසය තැබීමට පෙළඹීමට පුළුවන්

AI එකක් නිතරම එකඟ වන, ඉවසීමෙන් අහගෙන සිටින “හොඳම යහළුවෙකු” වගේ දැනෙන්න පුළුවන්. එවිට සැබෑ මිනිසුන් සමඟ කතා කිරීම අඩු වෙන්නත්, AI එක නොමැතිව තීරණ ගන්නත් අපහසු වීමට ඉඩ තිබෙනවා.

මනුෂ්‍ය උපදේශකයෙකු සමඟ කතා බහ කිරීමෙදී ඔබේ ආරක්ෂාව ගැන ඔවුන් වගකීමෙන් සිතනවා. AI එකකට ඒ වගකීම නැහැ. වැරදි තොරතුරක් හෝ උපදෙසක් දුන්නත් අදාල සමාගම ඒ ගැන වග කියන්නේ නැහැ.

AI chatbot ඔබේ හානිකර සිතුවිලිවලට එකඟ වෙන්න පුළුවන්

සමහර AI chatbot පරිශීලකයා (user) සතුටු කිරීම සඳහා ඔහු හෝ ඇය කියන දේට පහසුවෙන් එකඟ වෙනවා. ඒ නිසා ඔබ තුළ ඇති හානිකර අදහසක් අභියෝගයට ලක් කරනවා වෙනුවට එය තහවුරු කරන්න AI පෙළඹෙනවා.

AI chatbot ඔබේ ජීවිතයේ සම්පූර්ණ පසුබිම තේරුම් ගන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ පවුල් සම්බන්ධතා, පාසල් පරිසරය, භාෂාව, ආගමික හෝ සංස්කෘතික කරුණු AI එක නිවැරදිව තේරුම් නොගන්න පුළුවන්. සමහර පිළිතුරුවල පක්ෂපාතී අදහස් හෝ අසාධාරණ ලේබල් තිබෙන්නත් පුළුවන්.

AI උපදේශකයෙක් ආරක්ෂිතව භාවිත කරන්නේ කොහොමද?

  • ඔබට දැනෙන දේ ලියා පිළිවෙළකට සකස් කරගන්න
  • සන්සුන් වීමේ සාමාන්‍ය ක්‍රම කිහිපයක් සොයාගන්න
  • විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කතාවක් පටන්ගන්න වචන සූදානම් කරගන්න
  • උපදේශකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් අහන්න ප්‍රශ්න ලියාගන්න
  • සාමාන්‍ය මානසික සෞඛ්‍ය තොරතුරු සොයාගන්න AI chatbot එකක් භාවිත කරන්න පුළුවන්.

නමුත් මනුෂ්‍ය උපදේශකයෙකු හෝ යහළුවෙකු වෙනුවට AI chatbot එකක් භාවිත කරන්න එපා.

AI එකක් ඔබට හානිකර දෙයක් කරන්න, කාටවත් නොකියන්න, අන් අයගෙන් ඈත් වෙන්න හෝ පෞද්ගලික තොරතුරු ලබාදෙන්න කියනවා නම්, chat එක නවත්වලා විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න.

හදිසි සහායක් අවශ්‍ය නම්

ඔබට තමන්ට හෝ වෙනත් කෙනෙකුට හානි කරන්න සිතෙනවා නම්, අපයෝජනයකට ලක්වෙනවා නම් හෝ මේ මොහොතේ අනතුරක සිටිනවා නම්, AI එකක් සමඟ පමණක් කතා කරමින් ඉන්න එපා.

මව, පියා, භාරකරු, විශ්වාසවන්ත ගුරුවරයෙකු හෝ වෙනත් ආරක්ෂිත වැඩිහිටියෙකුට වහාම කියන්න. අවශ්‍ය නම් ළඟම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යන්න හෝ හදිසි සේවාවක් අමතන්න. ඔබේ ජීවිතය හැම දෙයකටම වඩා වටිනා බව මතක තබා ගන්න.

AI එකකට තොරතුරු දෙන්න පුළුවන්. ඔබට ඇහුම්කන් දී, තේරුම්ගෙන ආරක්ෂා කිරීමට සැබෑ මිනිස් සහායක් අවශ්‍යයි.