නිතර අසන ප්‍රශ්න

නව යොවුන් විය කියන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් අවුරුදු 10 සිට 19 දක්වා කාලයට නව යොවුන් විය කියනවා. මේ කාලයේ ශරීරය, සිතුවිලි, හැඟීම් සහ අනෙක් අය සමඟ පවත්වන සම්බන්ධතා වෙනස් වෙනවා. වැඩිවියට පත්වීම කියන්නේ මේ කාලයට සම්බන්ධ ශාරීරික වර්ධන ක්‍රියාවලියයි.

මගේ ශරීරය වෙනස් වෙන්නේ ඇයි?

ශරීරයේ නිපදවෙන හෝමෝන මේ වෙනස්කම්වලට බලපානවා. හෝමෝන කියන්නේ ශරීරයේ විවිධ කොටස්වලට පණිවිඩ ගෙන යන රසායනික ද්‍රව්‍යයි. උස වැඩිවීම, පියයුරු වර්ධනය, කටහඬ වෙනස්වීම සහ රෝම වැඩීම වැනි වෙනස්කම් වර්ධනයේ සාමාන්‍ය කොටස්.

මගේ යාළුවන්ගේ ශරීර වෙනස් වුණත් මගේ එහෙම නැත්තේ ඇයි?

වැඩිවියට පත්වීම හැමෝටම එකම වයසේදී හෝ එකම වේගයෙන් සිදුවෙන්නේ නැහැ. පවුලෙන් ලැබෙන ජාන සහ සෞඛ්‍ය තත්ත්වයත් එයට බලපානවා. වෙනස්කම් ඉතා කලින් ආරම්භ වුණොත්, හෝ දිගු කාලයක් කිසිදු වෙනසක් නැත්නම්, වැඩිහිටියෙකු සමග ළගම ඇති MOH කාර්යාලයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.

මුහුණේ කුරුලෑ එන්නේ ඇයි? මම මොකක්ද කරන්න ඕනේ?

හෝමෝන වෙනස්වීම නිසා සමේ තෙල් නිෂ්පාදනය වැඩි වී රෝම කූප අවහිර වෙන්න පුළුවන්. මෘදු පිරිසිදුකාරකයකින් මුහුණ සෝදන්න. කුරුලෑ මිරිකන්න හෝ සම තදින් අතුල්ලන්න එපා. වේදනාකාරී කුරුලෑ, කැළැල් හෝ කුරුලෑ නිසා දැඩි කනස්සල්ලක් ඇති නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්.

මගේ ශරීරයේ හැඩය හෝ සමේ පාට නිසා මම අඩු වටිනාකමක් ඇති කෙනෙක්ද?

නැහැ. ශරීරයේ හැඩය, ප්‍රමාණය හෝ සමේ පාට ඔබේ වටිනාකම තීරණය කරන්නේ නැහැ. සමාජ මාධ්‍යවල පෙනෙන ඡායාරූප බොහෝවිට වෙනස් කර තිබෙනවා. ඔබේ ශරීරය ගැන අපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ.

පියයුරු දෙකේ ප්‍රමාණය වෙනස් වීම සාමාන්‍යද?

ඔව්. එක් පියයුරක් අනෙකට වඩා ටිකක් විශාල වීම සාමාන්‍යයි. වර්ධනය වෙද්දී ඒ වෙනස වැඩිපුර පෙනෙන්නත් පුළුවන්.

ශිෂ්ණයේ හෝ වෘෂණවල ප්‍රමාණය හැමෝටම එක වගේද?

නැහැ. ඒවායේ ප්‍රමාණය සහ හැඩය වෙනස් වෙනවා. එක් වෘෂණයක් අනෙකට වඩා ටිකක් පහළින් තිබීමත් සාමාන්‍යයි.

රැවුල හෝ ශරීරයේ රෝම කැපුවාම ඒවා වඩා ඝනව වැවෙනවද?

නැහැ. කැපීමෙන් රෝමවල සැබෑ ඝනකම හෝ වැඩෙන වේගය වෙනස් වෙන්නේ නැහැ. කැපුණු අග කෙළින් තිබෙන නිසා නැවත වැඩෙන රෝම තද වගේ දැනෙන්න පුළුවන්. රෝම ඉවත් කිරීම අනිවාර්ය දෙයක් නොවෙයි.

යෝනි මාර්ගය සහ බාහිර ලිංගික අවයව කියන්නේ එකම දේද?

නැහැ. යෝනි මාර්ගය (vagina) කියන්නේ ශරීරය ඇතුළේ ඇති නාලයයි. යෝනි තොල් සහ භගමණිය ඇතුළු පිටතින් ඇති කොටස් එකතුවට බාහිර ස්ත්‍රී ලිංගික අවයව (vulva) කියනවා. මුත්‍රා පිටවන විවරය යෝනි විවරය නොවේ.

ලිංගික අවයව පිරිසිදු කරන්නේ කොහොමද?

පිටතින් ඇති කොටස් පිරිසිදු ජලයෙන් මෘදුව සෝදන්න. යෝනි මාර්ගය ඇතුළට සබන්, සුවඳ ද්‍රව්‍ය හෝ වෙනත් පිරිසිදුකාරක දමන්න එපා. පිරිසිදු යට ඇඳුම් අඳින්න. කැසීම, තුවාල, වේදනාව හෝ අසාමාන්‍ය දුගඳක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔසප් වීම කියන්නේ මොකක්ද?

ඔසප් වීම කියන්නේ ගර්භාෂයේ ඇතුළත පටලයේ කොටසක් රුධිරය සමඟ යෝනි මාර්ගයෙන් පිටවීමයි. මෙය හෝමෝන මඟින් පාලනය වන ක්‍රියාවලියක්. ඔසප් රුධිරය “අපිරිසිදු ලේ” නොවෙයි.

පළමු ඔසප් වීම සිදු වුණාම මම වැඩිහිටියෙක් වෙනවද?

නැහැ. එය ශරීරයේ වර්ධනයේ එක් පියවරක් පමණයි. එයින් විවාහයට, ලිංගික සම්බන්ධතාවකට හෝ දරුවෙකු ඇති දැඩි කිරීමට සූදානම් බව අදහස් වෙන්නේ නැහැ. ඔබට තවදුරටත් අධ්‍යාපනය, රැකවරණය සහ සහය අවශ්‍යයි.

මට තවම ඔසප් වීම ආරම්භ වෙලා නැහැ. වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ කවදාද?

අවුරුදු 16 වන විටත් ඔසප් වීම ආරම්භ වී නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න. එයින් අනිවාර්යයෙන් රෝගයක් තිබෙන බව අදහස් වෙන්නේ නැහැ.

ඔසප් වීම හැම මාසයකම එකම දවසේ සිදු වෙන්න ඕනෙද?

නැහැ. පළමු වසර කිහිපයේදී ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඔසප් වීම ආරම්භ වූ දින සටහන් කරගන්න. දිගු කාලයක් ඔසප් නොවීම, නැවත නැවත ඉතා අක්‍රමවත් වීම හෝ වෙනත් අපහසුතා තිබේ නම් MOH කාර්යාලයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.

ඔසප් දිනවල නාන්න, ක්‍රීඩා කරන්න හෝ පාසල් යන්න පුළුවන්ද?

ඔව්. ඔබට සුවපහසු නම් සුපුරුදු වැඩ කරන්න පුළුවන්. නෑමෙන් ඔසප් වීම නතර වෙන්නේ නැහැ. සැහැල්ලු ව්‍යායාම සමහරුන්ගේ වේදනාව අඩු කරන්නත් උදව් වෙනවා. වේදනාව නිසා පාසල් යන්න බැරි නම් එය නොසලකා නොහැර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔසප් වේදනාව අඩු කරගන්නේ කොහොමද?

උණුසුම් වතුර බෝතලයක් රෙදිවලින් ඔතා පහළ උදරය මත තබන්න. සැහැල්ලුවෙන් ඇවිදින්න සහ විවේක ගන්න. අවශ්‍ය නම් ඔබේ වයසට සහ සෞඛ්‍යයට ගැළපෙන වේදනා නාශකයක් ගැන වෛද්‍යවරයෙකුගෙන් අහන්න. දැඩි වේදනාවක් ඇති ඇති වනවා නම් ඒ සදහා  ප්‍රතිකාර තිබෙනවා.

ඔසප් වීම ගැන වහාම වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ මොන අවස්ථාවලද?

රුධිර වහනය ඉතා අධික නම්, කරකැවිල්ල හෝ සිහි නැතිවීම ඇති නම්, හෝ වේදනාව ඉතා තද නම් වෛද්‍ය උපකාර ලබාගන්න. දිගටම අධික රුධිර වහනය තිබීමෙන් රක්තහීනතාව ඇති වෙන්න පුළුවන්.

ඔසප් නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද?

සනීපාරක්ෂක තුවා, නැවත භාවිත කළ හැකි රෙදි තුවා, ටැම්පොන් සහ ඔසප් කෝප්ප වැනි විකල්ප තිබෙනවා. ඔබට සුවපහසු, ලබාගත හැකි සහ පිරිසිදුව භාවිත කළ හැකි එකක් තෝරන්න. නිෂ්පාදනයේ උපදෙස් අනුව මාරු කිරීම, සේදීම හෝ හිස් කිරීම කරන්න.

යෝනියෙන් සුදු හෝ පැහැදිලි ස්‍රාවයක් එන එක සාමාන්‍යද?

බොහෝවිට ඔව්. එහි ප්‍රමාණය ඔසප් චක්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් කැසීම, දැවිල්ල, තද දුගඳ, වේදනාව හෝ අසාමාන්‍ය පාටක් සමඟ ස්‍රාවය ඇති නම් පරීක්ෂා කරගන්න. MOH කාර්යාලයෙන් ඒ ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ හැම අවස්ථාවක්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නොවෙයි.

කන්‍යා පටලය පරීක්ෂා කරලා කෙනෙක් ලිංගිකව හැසිරිලාද කියන්න පුළුවන්ද?

නැහැ. යෝනි විවරය අසල ඇති හයිමන් (hymen) පටකයේ හැඩය සහ නම්‍යතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එය පරීක්ෂා කිරීමෙන් හෝ පළමු ලිංගික සම්බන්ධතාවයේදී ලේ පිටවුණාද කියා බැලීමෙන් ලිංගික අත්දැකීම් තහවුරු කරන්න බැහැ. “කන්‍යාභාවය පරීක්ෂා කිරීම” විද්‍යාත්මක පරීක්ෂණයක් නොවෙයි.

මට ලිංගික හැඟීම් ඇතිවීම සාමාන්‍යද?

ඔව්. නව යොවුන් වියේදී ලිංගික හැඟීම් හෝ කුතුහලය ඇතිවෙන්න පුළුවන්. සමහරුන්ට ඒවා අඩුවෙන් දැනෙන්නත් පුළුවන්. හැඟීමක් ඇති වූ නිසා ඒ අනුව ක්‍රියා කරන්න අවශ්‍ය නැහැ. ඔබේත් අනෙක් අයගේත් සීමාවන්ට ගරු කරන්න.

කිසිවෙකුට ආදර හෝ ලිංගික ආකර්ෂණයක් නොදැනීම වැරදිද?

නැහැ. හැමෝටම ඒ හැඟීම් එකම විදිහට හෝ එකම කාලයේදී ඇතිවෙන්නේ නැහැ. සමහරුන්ට ඒවා ඉතා අඩුවෙන් හෝ කිසිසේත් නොදැනෙන්න පුළුවන්. ඔබව අන් අය සමඟ සසඳමින් සම්බන්ධතාවක් ඇති කරගැනීමට බල කරගන්න අවශ්‍ය නැහැ.

ස්වයං වින්දනය කියන්නේ මොකක්ද? ඒක හානිකරද?

තමන්ගේ ශරීරය ස්පර්ශ කරමින් ලිංගික සතුටක් ලබාගැනීමට ස්වයං වින්දනය කියනවා. එය සාමාන්‍යයෙන් හානිකර නොවෙයි. එයින් වඳභාවය, ශරීර දුර්වලතාව හෝ පෙනීම අඩුවීම ඇතිවෙන්නේ නැහැ. කිරීමත් නොකිරීමත් පෞද්ගලික තේරීම්.

ස්වයං වින්දනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කවදාද?

වේදනාවක් හෝ තුවාලයක් ඇති නම් නතර කරන්න. එය නින්දට, පාසල් වැඩට හෝ දෛනික ජීවිතයට බාධා කරනවා නම් උපදෙස් ලබාගන්න. “සාමාන්‍ය” කියා හැමෝටම අදාළ එකම වාර ගණනක් නැහැ. පෞද්ගලිකත්වය සහ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න.

හේතුවක් නැතුව ශිෂ්ණය ඍජු වෙන්නේ ඇයි?

හෝමෝන සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා ශිෂ්ණයට රුධිරය වැඩිපුර ගලා යාමෙන් එය ඍජු වෙනවා. ලිංගික සිතුවිල්ලක් නැති වෙලාවකත් මෙය සිදුවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එය ඉබේම අඩු වෙනවා.

නින්දේදී ශුක්‍ර තරලය පිටවීම රෝගයක්ද?

නැහැ. මෙයට ස්වප්න මෝචනය හෝ තෙත් සිහින කියනවා. එය සමහරුන්ට සිදුවන සාමාන්‍ය දෙයක්. එයින් ශරීරය දුර්වල වෙන්නේ නැහැ. එය සිදු නොවීමත් සාමාන්‍යයි. වේදනාව හෝ ලේ පිටවීම තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

නිල් වීඩියෝවල පෙනෙන දේ සැබෑ ලිංගික සම්බන්ධතා වගේද?

බොහෝවිට නැහැ. ඒවා රඟපෑම් සහ සංස්කරණය කළ දර්ශන. කැමැත්ත, ආරක්ෂාව සහ සැබෑ ශරීර විවිධත්වය නිවැරදිව පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා ලිංගිකත්වය ගැන ඉගෙනගැනීමට යොදා ගැනීම සුදුසු නැහැ. ඒ සදහා විශ්වාසදායක අධ්‍යාපන මූලාශ්‍ර භාවිත කරන්න.

පළමු වතාවට ලිංගිකව හැසිරුණත් ගැබ් ගන්න පුළුවන්ද?

ඔව්. ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එක්වීමෙන් ගැබ් ගැනීම ආරම්භ වෙන්න පුළුවන්. පළමු වතාව වීමෙන් ඒ අවදානම අඩු වෙන්නේ නැහැ. පළමු ඔසප් වීමට පෙරත් ඩිම්බයක් පිටවිය හැකි නිසා, ඔසප් ආරම්භ වී නැති කෙනෙකුටත් ගැබ් ගැනීමේ හැකියාව තිබෙනවා.

සිපගැනීමෙන් හෝ වැසිකිළි ආසනයක ඉඳගැනීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?

නැහැ. සිපගැනීම, වැළඳගැනීම හෝ වැසිකිළි ආසනයක් භාවිත කිරීමෙන් ගැබ් ගන්නේ නැහැ. ගැබ් ගැනීමට ශුක්‍රාණු යෝනියට ඇතුළු වී ඩිම්බයක් වෙත ළඟා විය යුතුයි.

ශුක්‍ර තරලය පිටවීමට පෙර ශිෂ්ණය ඉවත් කළොත් ගැබ් ගැනීම වළක්වන්න පුළුවන්ද?

එය විශ්වාසදායක ක්‍රමයක් නොවෙයි. ඉවත් කිරීම ප්‍රමාද වෙන්න පුළුවන්. ශුක්‍ර මෝචනයට පෙර පිටවන දියරයේත් ශුක්‍රාණු තිබිය හැකියි. එම ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව ලැබෙන්නේත් නැහැ.

උපත් පාලන ක්‍රම කියන්නේ මොනවාද?

ගැබ් ගැනීමේ හැකියාව අඩු කරන ක්‍රමවලට උපත් පාලන ක්‍රම කියනවා. එ්වාය කියන නිවැරදි වචනය ‘ප්‍රතිසංධිවිරෝධක’යි. කොන්ඩම්, පෙති, එන්නත්, සම යට තැන්පත් කරන කූරු සහ ගර්භාෂය තුළ තබන උපකරණ ඒ අතර තිබෙනවා.

කොන්ඩම් භාවිත කිරීම වැදගත් ඇයි?

කොන්ඩම් නිවැරදිව සහ සෑම වතාවකම භාවිත කිරීමෙන් ගැබ් ගැනීමක් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන බෝවීම වළක්වා ගැනීමට පුළුවන්. වෙනත් ප්‍රතිසංධිවිරෝධක ක්‍රම වලින්  ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක්ෂාවක් ලබාදෙන්නේ නැහැ.

කොන්ඩම් දෙකක් එකවර භාවිත කළොත් වැඩි ආරක්ෂාවක් ලැබෙනවද?

නැහැ. දෙකක් එකවර භාවිත කිරීමෙන් ඝර්ෂණය වැඩි වී ඒවා කැඩෙන්න පුළුවන්. එක් වතාවකට අලුත් කොන්ඩමයක් භාවිත කරන්න. කල් ඉකුත්වීමේ දිනය සහ ඇසුරුම පරීක්ෂා කරන්න. ලේටෙක්ස් කොන්ඩම් සමඟ තෙල්, වැස්ලින් හෝ ලෝෂන් භාවිත කරන්න එපා.

කොන්ඩමය කැඩුණොත් හෝ ආරක්ෂාවක් නැතිව ලිංගිකව හැසිරුණොත් මොකක්ද කරන්න ඕනේ?

හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගෙන් හෝ ඖෂධවේදියෙකුගෙන් හදිසි ප්‍රතිසංධිවිරෝධක ගැන අහන්න. ක්‍රමය අනුව දින පහක් දක්වා භාවිත කළ හැකි විකල්ප තිබුණත්, ඉක්මනින් ලබාගැනීම වඩා හොඳයි. යෝනි මාර්ගය සේදීමෙන් ගැබ් ගැනීම වළක්වන්න බැහැ.

හදිසි ප්‍රතිසංධිවිරෝධක පෙති ගබ්සාවක් සිදු කරනවද?

නැහැ. ඒවායෙන් සිදු වන්නේ ඩිම්බයක් පිටවීම වැළැක්වීම හෝ ප්‍රමාද කිරීමයි.  දැනටමත් හට ගෙන ඇති ගැබ් ගැනීමක් අවසන් කරන්නේ නැහැ. ඒවා අනාගතයේ දරුවන් ලැබීමේ හැකියාව නැති කරන්නේත් නැහැ.

මම ගැබ්ගෙන ඇතිද කියලා දැනගන්නේ කොහොමද?

ගර්භණී පරීක්ෂණයක් කරන්න. සාමාන්‍යයෙන් ඔසප් වීම ප්‍රමාද වූ පළමු දිනයේ සිට පරීක්ෂා කළ හැකියි. ඊළඟ ඔසප් දිනය නොදන්නවා නම්, අවසන් වරට ආරක්ෂාවකින් තොරව ලිංගිකව හැසිරුණු දිනෙන් දින 21කට පසු පරීක්ෂා කරන්න. මෙවැනි අවස්ථාවකදී විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහය ලබා ගන්න.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් තිබෙනවාද කියලා පෙනුමෙන් කියන්න පුළුවන්ද?

නැහැ. බොහෝ ආසාදනවලට පැහැදිලි ලක්ෂණ නැහැ. සමහරවිට තුවාල, අසාමාන්‍ය ස්‍රාවය හෝ මුත්‍රා කිරීමේදී දැවිල්ල තිබිය හැකියි. ආසාදනයක් තිබේද කියා දැනගැනීමට අවශ්‍ය පරීක්ෂණ ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්න. ලක්ෂණ නැතිවීමෙන් ආසාදනයක් නැති බව තහවුරු වෙන්නේ නැහැ.

HIV සහ AIDS කියන්නේ එකම දේද?

නැහැ. HIV කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන වෛරසයක්. ප්‍රතිකාර නොලැබුණු HIV ආසාදනයේ ඉතා දියුණු අවධියට AIDS කියනවා. නිසි ප්‍රතිකාර මඟින් HIV සමඟ ජීවත් වන අයට දිගු, සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළ හැකියි.

HIV තිබෙන කෙනෙකු සමඟ කෑම බෙදාගත්තොත් හෝ වැළඳගත්තොත් මටත් එය බෝ වෙනවද?

නැහැ. කෑම බෙදාගැනීම, වැළඳගැනීම, අතට අත දීම හෝ එකම වැසිකිළිය භාවිත කිරීමෙන් HIV සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. HIV තිබෙන අයව කොන් කිරීම අවශ්‍ය නැහැ. ඔවුන්ටත් අනෙක් හැමෝටම වගේ ගෞරවය සහ සහය ලැබිය යුතුයි.

ලිංගික සම්බන්ධතාවකින් HIV ආසාදනය වීමේ අවදානමක් තිබුණොත් මොකක්ද කරන්න ඕනේ?

මෙවැනි අවස්ථාවකදී විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහය ලබා ගන්න. වැඩිදුර විස්තර මෙතැනින් ලබා ගන්න https://know4sure.lk/

යහපත් ආදර සම්බන්ධතාවක් හඳුනාගන්නේ කොහොමද?

ඔබට ආරක්ෂිත බවක් දැනෙනවා. ඔබේ අදහස්, සීමාවන්, යාළුවන් සහ අධ්‍යාපනයට ගරු කරනවා. බිය නොවී “නැහැ” කියන්න පුළුවන්. ඔබේ දුරකථනය පරීක්ෂා කිරීම, මුරපද ඉල්ලීම, තර්ජනය කිරීම හෝ යාළුවන්ගෙන් ඈත් කිරීම ආදරයේ සාක්ෂි නොවෙයි.

කැමැත්ත හෙවත් එකඟතාව කියන්නේ මොකක්ද?

යම් දෙයකට බියක්, බලපෑමක් හෝ රැවටීමක් නැතිව, එය තේරුම්ගෙන නිදහසේ එකඟ වීමයි. නිහඬව සිටීම කැමැත්ත නොවෙයි. නිදා සිටින හෝ තීරණයක් ගැනීමට නොහැකි තරම් මත් වූ කෙනෙකුට කැමැත්ත දිය නොහැකියි.

කලින් කැමති වුණත් පස්සේ “නැහැ” කියන්න පුළුවන්ද?

ඔව්. ඕනෑම වෙලාවක කැමැත්ත වෙනස් කරන්න පුළුවන්. කලින් කැමති වීම, ආදර සම්බන්ධතාවක් තිබීම හෝ එක් දෙයකට එකඟ වීම වෙනත් දෙයකටත් කැමති බව අදහස් කරන්නේ නැහැ. අකමැත්ත ප්‍රකාශ කළ විට අනෙක් කෙනා නතර කළ යුතුයි.

 “මට ආදරේ නම් මේක කරන්න” කියලා කෙනෙක් බල කරනවා නම් මොකක්ද කරන්න ඕනේ?

ඔබේ ආදරය පෙන්වීමට අකමැති දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ලිංගික ක්‍රියාවකට හෝ පෞද්ගලික ඡායාරූපයක් යැවීමට බල කිරීම පිළිගත හැකි දෙයක් නොවෙයි. ඔබට ආරක්ෂිත නම් අකමැත්ත කියන්න. තර්ජනයක් තිබේ නම් ආරක්ෂිත තැනකට ගොස් විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් සහය ලබාගන්න.

මට ලිංගික අතවරයක් සිදු වුණොත් මොකක්ද කරන්න ඕනේ?

එය ඔබේ වරදක් නොවෙයි. හැකි නම් ආරක්ෂිත තැනකට ගොස් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න. තුවාල නොපෙනුණත් ඉක්මනින් රෝහලකට යන්න. වයස අවුරුදු 18ට අඩු නම් 1929 ළමා උපකාරක සේවයට කතා කළ හැකියි. එය නොමිලේ, පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.

මට සමලිංගික ආකර්ෂණයක් තිබීම හෝ මගේ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් ලෙස දැනීම රෝගයක්ද?

නැහැ. ලිංගික ආකර්ෂණය සහ සමාජභාවී අනන්‍යතාව පුද්ගලයන් අතර විවිධයි. මෙවැනි අවස්ථාවකදී විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් සහය ලබා ගන්න පුළුවන්.

පාසලේදී හෝ අන්තර්ජාලයේදී මට හිරිහැර කරනවා නම් මොකක්ද කරන්න ඕනේ?

ඔබේ වරදක් කියා හිතන්න එපා. සිදුවූ දේ, දිනය සහ සම්බන්ධ පුද්ගලයන් ගැන සටහන් තබන්න. අන්තර්ජාල හිරිහැර නම් පණිවිඩ පිළිබඳ සාක්ෂි තබාගෙන අදාළ ගිණුම වාර්තා කරන්න. විශ්වාසවන්ත ගුරුවරයෙකුට හෝ වැඩිහිටියෙකුට කියන්න. පළමු කෙනා උදව් නොකළොත් වෙනත් කෙනෙකුට කියන්න.

පෞද්ගලික ඡායාරූපයක් පළ කරනවා කියලා කෙනෙක් තර්ජනය කළොත් මොකක්ද කරන්න ඕනේ?

තවත් ඡායාරූප හෝ මුදල් යවන්න එපා. තර්ජනාත්මක පණිවිඩ, ගිණුමේ නම සහ සබැඳි සටහන් කරගන්න. ඡායාරූප වෙනත් අයට යවන්න එපා. විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උදව් ලබාගෙන අදාළ වේදිකාවට වාර්තා කරන්න. අවුරුදු 18ට අඩු නම් 1929 අමතන්න.

නිතර දුක, බිය හෝ කනස්සල්ල දැනෙනවා නම් මම මොකක්ද කරන්න ඕනේ?

විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කරන්න. නින්ද, ආහාර සහ දෛනික වැඩ ගැන සැලකිලිමත් වෙන්න. හැඟීම් දිගටම පවතිනවා නම් හෝ පාසල් වැඩට සහ සම්බන්ධතාවලට බාධා කරනවා නම් වෛද්‍යවරයෙකුගෙන් හෝ පුහුණු මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපකාර ලබාගන්න. උදව් ඉල්ලීම දුර්වලකමක් නොවෙයි.

මට මාවම තුවාල කරගන්න හෝ ජීවිතය අවසන් කරගන්න සිතෙනවා නම් මොකක්ද කරන්න ඕනේ?

දැන්ම විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියන්න. තනිව නොසිට, ඔබට හානි කළ හැකි දේවලින් ඈත් වෙන්න. 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවයට කතා කරන්න. දැනටමත් තුවාල කරගෙන හෝ ඖෂධ වැඩිපුර ගෙන තිබේ නම්, හෝ දැන්ම හානි කරගැනීමේ අවදානමක් තිබේ නම්, වහාම ළඟම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට යන්න.