අන්තර්ජාලයේ සුරක්ෂිතව සිටීමට දරුවාට සහාය වෙමු

අන්තර්ජාලය දරුවන්ගේ ජීවිතයේ සාමාන්‍ය කොටසක්. ඔවුන් එය ඉගෙනගැනීමට, මිතුරන් සමඟ සම්බන්ධ වීමට, ක්‍රීඩා කිරීමට, නිර්මාණ කිරීමට සහ තමන් කැමති දේවල් සොයාගැනීමට භාවිත කරනවා.

නමුත් අන්තර්ජාලය තුළ හිරිහැර, වංචා, ලිංගික සූරාකෑම, ව්‍යාජ ගිණුම්, පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ නිරුවත් ඡායාරූප පෙන්වා තර්ජනය කිරීම වැනි අවදානම් ද තිබෙනවා.

දරුවා ආරක්ෂා කිරීම කියන්නේ අන්තර්ජාලය සම්පූර්ණයෙන් තහනම් කිරීම හෝ රහසේ ඔවුන්ගේ දුරකතනය පරීක්ෂා කිරීම නොවේ. වැදගත්ම ආරක්ෂාව වන්නේ ගැටලුවක් ඇති වූ විට:

“මට අම්මාට, තාත්තාට හෝ මාව බලාගන්න කෙනාට මේ ගැන බය නැතිව කියන්න පුළුවන්”

කියන විශ්වාසය දරුවා තුළ ඇති කිරීමයි.

අන්තර්ජාලය හරහා සිදුවන සමාජභාවය මත පදනම් වූ හිංසනයේ ආකාර

අන්තර්ජාලය හරහා සිදුවන සමාජභාවය මත පදනම් වූ හිංසනය විවිධ ආකාරවලින් සිදු වෙන්න පුළුවන්. ඒ සෑම ආකාරයකින්ම ඉලක්ක වූ පුද්ගලයාට හානිකර ප්‍රතිඵල ඇති විය හැකියි.

මෙවැනි හිංසනය බොහෝවිට කෙනෙකුගේ සමාජභාවය, ලිංගිකත්වය, ලිංගික දිශානතිය, ජාතිය, ආබාධිතභාවය හෝ වෙනත් අනන්‍යතාවක් ඉලක්ක කර සිදු කරනවා. ඒ නිසා ගැහැණු දරුවන්, LGBTIQA+ දරුවන්, ආබාධ සහිත දරුවන් සහ සමාජයේ වෙනස්කොට සැලකීමට ලක්වන වෙනත් දරුවන් වැඩි අවදානමකට මුහුණ දෙන්න පුළුවන්.

  1. අවසරයකින් තොරව ලිංගික ඡායාරූප යැවීම [Cyberflashing]

යම් පුද්ගලයෙකුගේ අවසරය නොමැතිව ඔවුන්ට ලිංගික අවයව, නිරුවත්භාවය හෝ ලිංගික ක්‍රියා පෙන්වන ඡායාරූප හෝ වීඩියෝ යැවීම Cyberflashing ලෙස හඳුන්වනවා.

එවැනි අන්තර්ගතයක් ලැබීම නිසා දරුවෙකු බියට, ලැජ්ජාවට, අපහසුතාවයට හෝ කම්පනයට පත් වෙන්න පුළුවන්. ඉල්ලීමකින් තොරව එවා ලැබී තිබුණානම්, එය ලැබීම දරුවාගේ වරදක් නොවේ.

  2. අන්තර්ජාලය හරහා පසුපස හඹා යාම [Cyberstalking]

ඩිජිටල් තාක්ෂණය භාවිත කර කෙනෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ඔවුන් සිටින ස්ථාන සොයාබැලීම හෝ නැවත නැවත ඔවුන්ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීම Cyberstalking ලෙස හඳුන්වනවා.

මෙයට:

  • දරුවාගේ social media ගිණුම් නිතර පරීක්ෂා කිරීම
  • දරුවා block කළ පසුව අලුත් ගිණුම් හදා නැවත සම්බන්ධ වීම
  • ඔවුන්ගේ location සොයාබැලීම
  • මිතුරන්ගෙන් ඔවුන් ගැන තොරතුරු ලබාගැනීම
  • ඔවුන් යන ස්ථාන ගැන දන්නා බව පෙන්වා බිය ගැන්වීම
  • දුරකථනයට tracking app එකක් රහසේ ඇතුළත් කිරීම වැනි ක්‍රියා ඇතුළත් වෙන්න පුළුවන්.

මෙය සම්බන්ධතාවයක් තුළ සිදුවන අපයෝජනයක කොටසක් ලෙසත් භාවිත වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපයෝජනය කරන පුද්ගලයාගෙන් ඉවත් වීමට උත්සාහ කරන කෙනෙකු පාලනය කිරීමට හෝ බිය ගැන්වීමට තාක්ෂණය භාවිත කරනවා.

  3. රහසේ ඡායාරූප හෝ වීඩියෝ ගැනීම [Digital voyeurism]

කෙනෙකුගේ අවසරය නොමැතිව ඔවුන්ගේ ශරීරය ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම, නැරඹීම හෝ අන්තර්ජාලයේ බෙදාහැරීම Digital voyeurism ලෙස හඳුන්වනවා.

මෙය:

  • සඟවා තැබූ කැමරාවක් භාවිත කිරීමෙන්
  • ඇඳුම් මාරු කරන ස්ථානයක රහසේ වීඩියෝ කිරීමෙන්
  • video call එකක් අවසරයකින් තොරව record කිරීමෙන්
  • දුරකථනයකින් පෞද්ගලික ඡායාරූප සොරකම් කිරීමෙන්
  • එවැනි ඡායාරූප වෙනත් අයට යැවීමෙන් සිදු වෙන්න පුළුවන්.

කෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූපයක් AI හෝ වෙනත් තාක්ෂණයක් භාවිත කර වෙනස් කර, ඔවුන් නිරුවතින් සිටින බවක් හෝ ලිංගික ක්‍රියාවක නිරත වන බවක් පෙන්වන ව්‍යාජ ඡායාරූපයක් හෝ වීඩියෝවක් නිර්මාණය කිරීමත් මෙයට සම්බන්ධයි.

  4. පෞද්ගලික තොරතුරු හෙළි කිරීම [Doxing]

කෙනෙකුගේ අවසරය නොමැතිව ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයේ පළ කිරීම Doxing ලෙස හඳුන්වනවා.

මෙයට:

  • නිවසේ ලිපිනය
  • දුරකථන අංකය
  • පාසලේ නම
  • රැකියා ස්ථානය
  • පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු
  • දරුවා නිතර යන ස්ථාන
  • පෞද්ගලික ඡායාරූප වැනි තොරතුරු ඇතුළත් වෙන්න පුළුවන්.

මෙවැනි තොරතුරු පළ කරන්නේ වෙනත් පුද්ගලයන් ලවා එම දරුවාට පණිවිඩ යැවීමට, බිය ගැන්වීමට, හිරිහැර කිරීමට හෝ සැබෑ ජීවිතයේදී හානි කිරීමට පෙළඹවීමේ අරමුණින් වෙන්න පුළුවන්.

  5. සමාජභාවය මත පදනම් වූ වෛරී ප්‍රකාශ [Gender-based hate speech]

කෙනෙකුගේ ලිංගිකත්වය, සමාජභාවය හෝ ලිංගික දිශානතිය ඉලක්ක කර ඔවුන්ට අපහාස කිරීම, ලැජ්ජා කිරීම, බිය ගැන්වීම හෝ පහත් කිරීම සමාජභාවය මත පදනම් වූ වෛරී ප්‍රකාශ ලෙස හඳුන්වනවා.

මෙය comments, messages, memes, videos, voice messages හෝ social media posts හරහා සිදු වෙන්න පුළුවන්.

එයට:

  • ලිංගික අපහාස
  • ගැහැණු දරුවන් හෝ LGBTIQA+ දරුවන් පහත් කරන ප්‍රකාශ
  • “හොද වැඩේ” යනුවෙන් හිංසනය සාධාරණ කිරීම
  • තමන්ටම හානි කරගන්නා ලෙස කෙනෙකුට පැවසීම
  • ලිංගික හෝ ශාරීරික හිංසනය කරන බවට තර්ජනය කිරීම වැනි දේවල් ඇතුළත් වෙන්න පුළුවන්.

6. වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීම සහ ව්‍යාජ ගිණුම් සෑදීම [Identity theft impersonation and fake profiles]

කෙනෙකුගේ නම, ඡායාරූප හෝ වෙනත් පෞද්ගලික තොරතුරු භාවිත කර ඔවුන් ලෙස පෙනී සිටීම හෝ ව්‍යාජ ගිණුමක් නිර්මාණය කිරීම මෙයට ඇතුළත් වෙනවා.

එවැනි ගිණුමක් භාවිත කර:

  • දරුවාට අපහාස වන ආකාරයේ posts පළ කිරීම
  • දරුවාගේ නමින් වෙනත් අයට පණිවිඩ යැවීම
  • ඔවුන්ගේ මිතුරන්ගෙන් හෝ පවුලේ අයගෙන් මුදල් ඉල්ලීම
  • දරුවා ලිංගික සේවා සපයන බවට ව්‍යාජ දැන්වීම් පළ කිරීම
  • දරුවාගේ ලිපිනය හෝ දුරකථන අංකය පළ කිරීම
  • ඔවුන්ගේ සම්බන්ධතා විනාශ කිරීමට උත්සාහ කිරීම සිදු වෙන්න පුළුවන්.

7. ඡායාරූප වෙනස් කර ව්‍යාජ ලිංගික රූප නිර්මාණය කිරීම [Morphing and deepfakes]

සාමාන්‍ය ඡායාරූප හෝ වීඩියෝ කපා, එකට එකතු කර හෝ AI වැනි තාක්ෂණයක් භාවිත කර කෙනෙකුගේ ව්‍යාජ නිරුවත් හෝ ලිංගික ඡායාරූපයක් නිර්මාණය කිරීම Morphing හෝ Deepfake නිර්මාණය කිරීම ලෙස හඳුන්වනවා.

මෙවැනි ව්‍යාජ ඡායාරූප හෝ වීඩියෝ:

  • දරුවා ලැජ්ජාවට පත් කිරීමට
  • ඔවුන්ගේ කීර්ති නාමයට හානි කිරීමට
  • බිය ගැන්වීමට
  • මුදල් හෝ තවත් ඡායාරූප ලබාගැනීමට
  • අසභ්‍ය වෙබ් අඩවිවල පළ කිරීමට භාවිත කරන්න පුළුවන්.

ඡායාරූපය ව්‍යාජ එකක් වුවත්, එයින් දරුවාට සිදුවන බිය, ලැජ්ජාව සහ මානසික හානිය සැබෑයි.

8. සමීප හෝ නිරුවත් ඡායාරූප අවසරයකින් තොරව බෙදාහැරීම

කෙනෙකුගේ අවසරය නොමැතිව ඔවුන්ගේ නිරුවත්, අර්ධ නිරුවත් හෝ ලිංගික ඡායාරූප, වීඩියෝ හෝ හඬපට වෙනත් අයට යැවීම හෝ අන්තර්ජාලයේ පළ කිරීම මෙයට ඇතුළත් වෙනවා.

ඡායාරූපය මුලින් කැමැත්තෙන් යවා තිබුණත්, එය වෙනත් අයට බෙදාහැරීමට කැමැත්ත දී ඇති බව එයින් අදහස් වෙන්නේ නැහැ.

ඡායාරූපය හෝ වීඩියෝව බෙදාහරින බවට තර්ජනය කර:

  • මුදල්
  • තවත් ඡායාරූප
  • ලිංගික ක්‍රියාවක්
  • සම්බන්ධතාවක් දිගටම පවත්වාගෙන යාම
  • වෙනත් ඉල්ලීමක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමත් මෙයට ඇතුළත් වෙනවා.

   9. අන්තර්ජාලය හරහා දරුවෙකු රවටා සමීප වීම [Online grooming]

අන්තර්ජාලය හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණයක් භාවිත කර දරුවෙකුගේ විශ්වාසය ලබාගෙන, පසුව ඔවුන්ව ලිංගිකව සූරාකෑමට හෝ හමුවීමට උත්සාහ කිරීම Online grooming ලෙස හඳුන්වනවා.

මෙය කරන පුද්ගලයා:

  • දරුවාගේ වයසට සමාන කෙනෙකු ලෙස පෙනී සිටින්න පුළුවන්
  • දරුවාගේ ගැටලු තේරුම්ගන්නා එකම කෙනා තමන් බව පෙන්වන්න පුළුවන්
  • ආදරය හෝ විශේෂ සැලකිල්ල පෙන්වන්න පුළුවන්
  • තෑගි, මුදල් හෝ phone reload ලබාදෙන්න පුළුවන්
  • දෙමාපියන්ගෙන් සහ මිතුරන්ගෙන් මේ සම්බන්ධතාව සඟවන්න කියන්න පුළුවන්
  • පෞද්ගලික හෝ නිරුවත් ඡායාරූප ඉල්ලන්න පුළුවන්
  • දරුවාව සැබෑ ජීවිතයේදී හමුවීමට උත්සාහ කරන්න පුළුවන්

 10. අන්තර්ජාල ලිංගික හිරිහැර සහ දාමරිකකම්

Messages, emails, calls, comments, video calls හෝ direct messages හරහා ලිංගික අදහස්, ප්‍රශ්න, ඡායාරූප හෝ තර්ජන යැවීම අන්තර්ජාල ලිංගික හිරිහැර ලෙස හඳුන්වනවා.

එයට:

  • දරුවාගේ ශරීරය ගැන ලිංගික comments කිරීම
  • නිරුවත් ඡායාරූප ඉල්ලීම
  • ලිංගික ඡායාරූප හෝ වීඩියෝ යැවීම
  • ලිංගික ක්‍රියා කිරීමට බලපෑම් කිරීම
  • ස්ත්‍රී දූෂණය හෝ වෙනත් ලිංගික හිංසනය කරන බවට තර්ජනය කිරීම
  • ලිංගික කටකතා පතුරුවා හැරීම ඇතුළත් වෙන්න පුළුවන්.

පුද්ගලයන් කිහිපදෙනෙකු එකට එකතු වී කෙනෙකුට දිගින් දිගටම හිරිහැර කරනවා නම්, එය සමූහ හෝ ජාලගත හිරිහැර කිරීමක් (Networked harassment) ලෙස හඳුන්වනවා.

  11. අන්තර්ජාල තර්ජන සහ බ්ලැක්මේල් කිරීම [Online threats and blackmail]

කෙනෙකු පිළිබඳ පෞද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ ඔවුන්ගේ මිතුරන්ට, පවුලේ අයට හෝ මහජනතාවට බෙදාහරින බවට තර්ජනය කර යම් ඉල්ලීමක් ඉටුකරවා ගැනීම අන්තර්ජාල බ්ලැක්මේල් කිරීම ලෙස හඳුන්වනවා.

තර්ජනය සඳහා භාවිත කරන ඡායාරූපය හෝ තොරතුර සැබෑ එකක් හෝ AI මගින් නිර්මාණය කළ ව්‍යාජ එකක් වෙන්න පුළුවන්.

තර්ජනය කරන පුද්ගලයා:

මුදල් ඉල්ලන්න

තවත් ඡායාරූප ඉල්ලන්න

ලිංගික ක්‍රියාවකට බල කරන්න

සම්බන්ධතාවක් නතර කිරීමට ඉඩ නොදෙන්න

පැමිණිල්ලක් ඉවත් කරගන්න බල කරන්න මේ තර්ජන යොදා ගැනීමට ඉඩ තිබෙනවා.

12. ලිංගික ක්‍රියා හෝ ලිංගික වාසි ලබාගැනීමට තර්ජනය කිරීම [Sextortion]

කෙනෙකුගේ සමීප හෝ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ බෙදාහරින බවට තර්ජනය කර, ඔවුන්ගෙන් ලිංගික ක්‍රියාවක්, තවත් ලිංගික ඡායාරූප හෝ වෙනත් ලිංගික වාසියක් ලබාගැනීමට උත්සාහ කිරීම Sextortion ලෙස හඳුන්වනවා.

දරුවෙකු මෙයට මුහුණ දෙනවා නම් ඔවුන්ට දොස් නොකියන්න. මුදල් ගෙවීමෙන් හෝ තවත් ඡායාරූප යැවීමෙන් තර්ජනය අනිවාර්යයෙන් නතර වෙන්නේ නැහැ. දරුවා සමඟ සිට සාක්ෂි ආරක්ෂා කරගෙන වහාම සුදුසු සහායක් ලබාගන්න.

13. ලිංගික අන්තර්ගතයෙන් මුදල් උපයාගැනීම [Sexploitation]

කෙනෙකුගේ අවසරය නොමැතිව ඔවුන්ගේ ලිංගික හෝ සමීප අන්තර්ගතය භාවිත කර මුදල් උපයාගැනීම Sexploitation ලෙස හඳුන්වනවා.

මෙයට:

  • නිරුවත් හෝ ලිංගික ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණීම
  • රහසේ ලබාගත් වීඩියෝ මුදලට බෙදාහැරීම
  • කෙනෙකු නොදැන සිටියදී live-stream කිරීම
  • AI භාවිතයෙන් නිර්මාණය කළ ව්‍යාජ ලිංගික ඡායාරූප විකිණීම ඇතුළත් වෙන්න පුළුවන්.

   14. අන්තර්ජාල රැස්වීම්වලට කඩා වැදී හානිකර අන්තර්ගත පෙන්වීම [Zoom bombing]

Online class එකකට, meeting එකකට හෝ වෙනත් අන්තර්ජාල රැස්වීමකට අවසරයකින් තොරව ඇතුළුවී, සහභාගී වන අය බිය ගැන්වීමට හෝ අපහසුතාවයට පත් කිරීමට:

  • ලිංගික හෝ අසභ්‍ය අන්තර්ගත
  • ජාතිවාදී ප්‍රකාශ
  • සමාජභාවය මත පදනම් වූ අපහාස
  • ආගමික හෝ වෙනත් වෛරී ප්‍රකාශ
  • තර්ජනාත්මක ශබ්ද හෝ දර්ශන පෙන්වීම Zoom bombing ලෙස හඳුන්වනවා.

මෙය Zoom යෙදුම තුළ පමණක් නොව, ඕනෑම online meeting හෝ online class වේදිකාවක සිදු වෙන්න පුළුවන්.

දෙමාපියන් මතක තබාගත යුතු වැදගත්ම දෙය

මෙවැනි සිදුවීමක් දරුවා ඔබට පැවසුවොත්, පළමුව ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ට දොස් නොකියන්න. දුරකථනය ලබාගැනීම හෝ දඬුවම් කිරීම ගැන තීරණය කිරීමට පෙර දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න.

දරුවාට මෙහෙම කියන්න:

 “මට මේ ගැන කිව්ව එක හරිම වැදගත්. මේක ඔයාගේ වරදක් නොවේ. අපි මේකට එකට මුහුණ දෙමු.”

දරුවාට සිදුවීම සඟවා තබන්න සිදු වන බවක් දැනුණොත්, හිංසනය කරන පුද්ගලයාගේ බලය තවත් වැඩි වෙනවා. දරුවාට ඔබ වෙත බියෙන් තොරව පැමිණීමට හැකි වීම ඔවුන්ගේ වැදගත්ම ආරක්ෂාවක්.

Read more – Youth-Toolkit_14-Dec_compressed-final 

ඔබේ දරුවා අන්තර්ජාලය තළ හිංසනයකට මුහුණ දෙනවා නම් සහාය වෙන්නේ කොහොමද?

දරුවා අන්තර්ජාලය හරහා හිරිහැරයකට, ලිංගික තර්ජනයකට හෝ බ්ලැක්මේල් කිරීමකට මුහුණ දෙන බව ඔබට පැවසුවොත්, ඔබේ පළමු ප්‍රතිචාරය ඉතා වැදගත්. දරුවාට දොස් පැවරීම, කෑගැසීම හෝ දුරකථනය උදුරාගැනීමෙන් ඔවුන් තවත් බිය වී සිදුවීම සඟවන්න පුළුවන්.

පළමුව දරුවාට සවන් දෙන්න

දරුවාට මෙහෙම කියන්න:

“මට මේ ගැන කිව්ව එක හරිම වැදගත්.”

“මේක ඔයාගේ වරදක් නොවේ.”

“මම ඔයාට දොස් කියන්නේ නැහැ.”

“අපි මේකට එකට මුහුණ දෙමු.”

“මගේ පළමු කාර්යය ඔයාව ආරක්ෂා කිරීමයි.”

“ඇයි ඒ කෙනාව විශ්වාස කළේ?”, “ඇයි ඡායාරූපය යැව්වේ?” හෝ “මම කිව්වා නේද?” වැනි ප්‍රශ්න මුලින්ම අහන්න එපා. සිදුවූ දේ තේරුම්ගැනීමට පසුව සන්සුන්ව කතා කළ හැකියි.

දරුවා ආරක්ෂිතද කියලා සොයා බලන්න

තර්ජනය කරන පුද්ගලයා දරුවාව හඳුනනවාද?

ඔවුන් දරුවාගේ නිවස, පාසල හෝ location එක දන්නවාද?

දරුවාව හමුවීමට උත්සාහ කරනවාද?

දරුවාට හෝ පවුලේ කෙනෙකුට ශාරීරික හානියක් කරන බවට තර්ජනය කරනවාද?

දරුවා දැඩි බියෙන්, කම්පනයෙන් හෝ තමන්ටම හානි කරගැනීමේ අවදානමක සිටිනවාද?

අනතුරක් තිබෙනවා නම් දරුවා තනිව තබන්න එපා. 119 අමතන්න හෝ ළඟම පොලිස් ස්ථානයට යන්න. හදිසි වෛද්‍ය සහාය අවශ්‍ය නම් 1990 සුවසැරිය අමතන්න.

සාක්ෂි ආරක්ෂා කරගන්න

ගිණුම block කිරීමට හෝ messages delete කිරීමට පෙර:

  1. තර්ජනාත්මක messagesවල screenshots ගන්න.
  2. Username, profile name සහ account link එක සටහන් කරගන්න.
  3. සිදුවූ දිනය සහ වේලාව සටහන් කරගන්න.
  4. භාවිත කළ phone number, email address සහ platform එක සටහන් කරගන්න.
  5. මුදල් ඉල්ලා තිබේ නම් ගෙවීම් විස්තර සටහන් කරගන්න.

දරුවෙකුගේ නිරුවත් හෝ ලිංගික ඡායාරූපයක් download, screenshot, forward හෝ වෙනත් කෙනෙකුට පෙන්වන්න එපා. සාක්ෂි ලෙස තබාගන්න ඕනේ තර්ජන, usernames සහ links මිස දරුවාගේ නිරුවත් ඡායාරූපය නැවත බෙදාහැරීම නොවේ.

නිරුවත් ඡායාරූපයක් පෙන්වා තර්ජනය කරනවා නම්

තර්ජනය කරන පුද්ගලයා:

  • මුදල් ඉල්ලන්න
  • තවත් ඡායාරූප ඉල්ලන්න
  • ලිංගික ක්‍රියාවකට බල කරන්න
  • දරුවාගේ දෙමාපියන්ට හෝ යහළුවන්ට කියන බවට තර්ජනය කරන්න පුළුවන්.

එවැනි අවස්ථාවක මුදල් ගෙවන්න හෝ තවත් ඡායාරූප යවන්න එපා. ඉල්ලීම ඉටු කළත් තර්ජනය නතර වන බවට සහතිකයක් නැහැ.

දරුවා ඡායාරූපය මුලින් කැමැත්තෙන් යවා තිබුණත්, එය වෙනත් අයට බෙදාහැරීමට කැමැත්ත දී ඇති බව එයින් අදහස් වෙන්නේ නැහැ. තර්ජනය කිරීම සහ අවසරයකින් තොරව බෙදාහැරීමේ වගකීම තියෙන්නේ එය කරන පුද්ගලයාටයි.

දරුවා ඔබට බිය නොවිය යුතුයි

අන්තර්ජාලය හරහා හිංසන සිදු කරන පුද්ගලයන් බොහෝවිට “මේක ඔයාගේ තාත්තාට කියනවා”, “අම්මාට පෙන්වනවා” හෝ “පාසලේ අයට යවනවා” කියලා තර්ජනය කරනවා. දරුවා දෙමාපියන්ගේ ප්‍රතිචාරයට බිය නම්, එම බිය තර්ජනය කරන පුද්ගලයාගේ බලය බවට පත් වෙනවා.

ඒ නිසා ඔබේ දරුවාට කලින්ම මෙහෙම කියන්න:

“කවුරුහරි ඡායාරූපයක් හෝ වීඩියෝවක් පෙන්වලා මට කියන බවට තර්ජනය කළත්, ඔයාට මුලින්ම මට කියන්න පුළුවන්. මම ඔයාට පහර දෙන්නේවත්, අපහාස කරන්නේවත් නැහැ. අපි ආරක්ෂිතව මේක විසඳමු.”

දරුවාට ඔබේ සහාය තිබෙන බව තේරුම්ගත් විට, තර්ජනය කරන පුද්ගලයාට දරුවාව පාලනය කිරීම අපහසු වෙනවා.

ගිණුම ආරක්ෂා කර සිදුවීම වාර්තා කරන්න

සාක්ෂි ආරක්ෂා කරගත් පසුව:

  1. අදාළ message, post සහ account එක platform එකට report කරන්න.
  2. තර්ජනය කරන account එක block කරන්න.
  3. මුරපද වෙනස් කරන්න.
  4. TwoFactor Authentication ක්‍රියාත්මක කරන්න.
  5. Privacy settings සහ location sharing පරීක්ෂා කරන්න.
  6. අවශ්‍ය නම් දරුවාගේ මිතුරන්ට ව්‍යාජ account ගැන කෙටි දැනුම්දීමක් කරන්න.

ශ්‍රී ලංකාවේ උදව් ලබාගත හැකි ස්ථාන

1929 – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය: වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට සිදුවන අපයෝජනයක් හෝ අන්තර්ජාල ලිංගික හිංසනයක් වාර්තා කිරීමට.

109 – පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය

011 244 4444 – පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය

cwb.online@police.gov.lk – අන්තර්ජාලය හරහා පැමිණිලි කිරීමට

101 – Sri Lanka CERT: තාක්ෂණික සහ අන්තර්ජාල ආරක්ෂක මඟපෙන්වීම සඳහා. Social media සිදුවීම් ඔවුන්ගේ නිල Incident Reporting Portal එක හරහා වාර්තා කරන්න.

සිදුවීමෙන් පසුවත් දරුවා සමඟ සිටින්න

Report කළ පමණින් දරුවාගේ බිය, ලැජ්ජාව හෝ කනස්සල්ල වහාම නැති වෙන්නේ නැහැ. ඔවුන්ගේ නින්ද, ආහාර ගැනීම, පාසල් යාම, යහළුවන්ගෙන් ඈත් වීම සහ මනෝභාවය වෙනස් වෙනවාද කියලා සොයා බලන්න.

දරුවාට නැවත නැවත සිදුවීම විස්තර කරන්න බල කරන්න එපා. සිදුවීම දරුවාගේ කැමැත්ත නැතිව ඥාතීන්ට හෝ වෙනත් අයට කියන්නත් එපා. අවශ්‍ය නම් දරුවාගේ කැමැත්ත ඇතිව උපදේශකවරයෙකුගේ හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ සහාය ලබාගන්න.

වැදගත්ම දේ මෙයයි:

දරුවා ගැටලුවක් සමඟ ඔබ වෙත පැමිණි විට, දඬුවම් කිරීමට පෙර ඔවුන්ව ආරක්ෂා කරන්න.

“මැනොස්ෆියර්” යනු කුමක්ද? දෙමාපියන් මේ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අන්තර්ජාලය ඉගෙනීමට හා එකිනෙකා සමඟ සම්බන්ධ වීමට උපකාරී වුවත්, එය ස්ත්‍රීන්ට හා ගැහැනු දරුවන්ට එරෙහි වෛරය, අපයෝජනය සහ ස්ත්‍රී විරෝධී අදහස් පැතිරවීමටද භාවිත වේ. එවැනි අදහස් ප්‍රචාරය කරන ප්‍රධාන ජාලයක් ලෙස “මැනොස්ෆියර්” හඳුන්වනු ලැබෙනවා

මැනොස්ෆියර් යනු කුමක්ද?

මැනොස්ෆියර් යනු පිරිමියකු වීමේ අර්ථය ඉතා පටු හා ආක්‍රමණශීලී ලෙස ඉදිරිපත් කරන අන්තර්ජාල ප්‍රජාවන් සමූහයක්. ස්ත්‍රීවාදය සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිරිමින්ගේ අයිතිවාසිකම්වලට හානි කර ඇති බවට අසත්‍ය අදහසක් මෙම ප්‍රජාවන් ප්‍රචාරය කරනවා

පිරිමියකුගේ වටිනාකම හැඟීම් පාලනය කිරීම, ධනය, ශාරීරික පෙනුම සහ විශේෂයෙන්ම ස්ත්‍රීන් මත බලය පැවැත්වීම මත තීරණය වන බව මෙහිදී උගන්වනවා. සමාජ මාධ්‍ය, පොඩ්කාස්ට්, ඔන් ලයින් ගේමිං සහ ඩෝඩිං ඇප්ස් ඇතුළු බොහෝ ඩිජිටල් අවකාශවල මෙම අදහස් පැතිර තිබෙනවා.

තරුණ පිරිමි දරුවන් මේ අදහස් වලට ආකර්ෂණය වන්නේ ඇයි?

තනිකම, කාංසාව හෝ සමාජයෙන් වෙන්වී සිටින බවක් දැනෙන තරුණයන් මෙවැනි අන්තර්ගතයට පහසුවෙන් ආකර්ෂණය වීමට පුළුවන්. ශාරීරික යෝග්‍යතාව, ආදර සබඳතා, මුදල් හෝ ස්වයංවර්ධනය පිළිබඳ උපදෙස් සොයන විට ඔවුන්ට මැනොස්ෆියර් බලපෑම්කරුවන් හමුවීමට ඉඩ තිබෙනවා.

මෙම බලපෑම්කරුවන් පෞද්ගලික වගකීම සහ සාර්ථකත්වය උගන්වන බව පෙන්වුවත්, බොහෝවිට තරුණ පිරිමින්ගේ ගැටලුවලට ස්ත්‍රීන්, ගැහැනු දරුවන් සහ ස්ත්‍රීවාදය වගකිව යුතු බව ඔවුන්ට ඒත්තු ගන්වනවා.

මැනොස්ෆියර් ස්ත්‍රීන් නිරූපණය කරන්නේ කෙසේද?

මැනොස්ෆියර් ප්‍රජාවන් බොහොමයක් ස්ත්‍රීන්ට හා ගැහැනු දරුවන්ට එරෙහි වෛරය සහ අගතිගාමී අදහස් මත එකතු වී සිටිනවා. ඔවුන් මිථ්‍යා අදහස්, විද්‍යාත්මක ලෙස පෙනෙන ව්‍යාජ ප්‍රකාශ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අසත්‍ය තොරතුරු පතුරවනවා.

“ඉන්සෙල්” කණ්ඩායම් පිරිමින්ට ලිංගික සබඳතා ලැබීමට අයිතියක් ඇති බවත්, ස්ත්‍රීන් එය හිතාමතා වළක්වන බවත් පවසනවා.

“පිරිමි අයිතිවාසිකම් ක්‍රියාකාරීන්” ස්ත්‍රීවාදය සහ ස්ත්‍රී අයිතිවාසිකම් පිරිමින්ට හානි කරන බව පවසයි.

“පිකප් ආටිස්ට්” කණ්ඩායම් ස්ත්‍රීන්ට ලිංගික සබඳතා සඳහා බලපෑම් කිරීමට හෝ ස්ත්‍රීන්ට වංචා කිරීමට ක්‍රම උගන්වන අතර, ලිංගික කැමැත්ත හා එකඟතාව අවමානයට ලක් කරයි.

“රෙඩ් පිල්” අදහස් ලෝකය පිරිමින්ට වඩා ස්ත්‍රීන්ට වාසිදායක බවට අසත්‍ය මතයක් පතුරවයි.

මැනොස්ෆියර්හි භාවිත වන භාෂාව ස්ත්‍රීන් මනුෂ්‍යයන් ලෙස නොසලකා හැරීමටත්, ඔවුන් සියලු දෙනා එකම ආකාරයේ අය ලෙස හංවඩු ගැසීමටත් යොදාගන්නවා.

සැබෑ ජීවිතයේ බලපෑම

මැනොස්ෆියර් තුළ පැතිරෙන ස්ත්‍රී විරෝධය ස්ත්‍රීන්ට සහ ගැහැනු දරුවන්ට පමණක් නොව, පිරිමි දරුවන්ටද හානි කරනවා. පිරිමින් හැඟීම් ප්‍රකාශ නොකළ යුතු බවත්, සැමවිටම බලවත් හා පාලනය කරන පුද්ගලයන් විය යුතු බවත් එය උගන්වනවා.

දැඩි ස්ත්‍රී-පුරුෂ ඒකාකෘති පිළිගන්නා පිරිමින් අතර අවදානම් හැසිරීම්, මානසික සෞඛ්‍යය නොසලකා හැරීම, විෂාදය සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි වැඩි විය හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා. ස්ත්‍රීන් පිළිබඳ මැනොස්ෆියර් අදහස් ලිංගික හිංසනය සාමාන්‍යකරණය කරමින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සඳහා ලබාගත් ප්‍රගතියටද තර්ජනයක් එල්ල කරයි.

දැන් කළ යුත්තේ කුමක්ද?

මැනොස්ෆියර් අදහස් “අන්තර්ජාල විහිළු” ලෙස නොසලකා හැරීමට බැහැ. ඒවා පාසල්, රැකියා ස්ථාන, පවුල් සහ සමීප සබඳතා තුළට පැමිණ කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට එරෙහි හිංසනය සාමාන්‍ය දෙයක් බවට පත් කරනවා. එබැවින් දෙමාපියන් දරුවන් දකින අන්තර්ගතය පිළිබඳ විවෘතව කතා කිරීමත්, ස්ත්‍රී විරෝධී අදහස් අභියෝගයට ලක් කිරීමත්, සමානාත්මතාව, ගෞරවය සහ කැමැත්ත මත පදනම් වූ සබඳතා ගැන ඔවුන්ට ඉගැන්වීමත් අත්‍යවශ්‍ය වනවා.

අන්තර්ජාලය තුළ  ලිංගික හිංසන සිදු කරන්නන් පිළිබද මිථ්‍යා මත සහ සත්‍ය

මිත්‍යා මතය: අන්තර්ජාලය හරහා දරුවන් ලිංගිකව ඉලක්ක කරන්නේ වැඩිහිටි පිරිමින් පමණයි.

සත්‍යය: එවැනි අපරාධකරුවන් ඕනෑම වයසක, ඕනෑම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයක සහ ඕනෑම පසුබිමක පුද්ගලයන් විය හැකිය. ඔවුන්ගේ පෙනුම, වයස හෝ සමාජ තත්ත්වය මත අපරාධකරුවකු හඳුනා ගැනීමට බැහැ.

මිත්‍යා මතය: අන්තර්ජාල ගිණුමෙන් පෙනෙන පුද්ගලයා එය භාවිත කරන සැබෑ පුද්ගලයාමයි.

සත්‍යය: අන්තර්ජාලයේ සිටින පුද්ගලයකු තමන් පවසන පුද්ගලයාමදැයි තහවුරු කිරීම අපහසුයි. දරුවකුගේ වයසට ආසන්න කෙනෙකු ලෙස පෙනෙන ගිණුමක් පිටුපස වෙනත් වයසක හෝ වෙනත් අනන්‍යතාවක් ඇති පුද්ගලයකු සිටීමට පුළුවන්.

මිත්‍යා මතය: “හොඳ” හෝ මිත්‍රශීලී ලෙස කතා කරන කෙනෙකුගෙන් අනතුරක් නැහැ.

සත්‍යය: දරුවාගේ විශ්වාසය දිනාගැනීම සඳහා අපරාධකරුවන් මිත්‍රශීලීව කතා කිරීමට සහ දරුවා කැමති දේවල් පිළිබඳ උනන්දුවක් පෙන්වීමට හැකිය. එබැවින් දෙමාපියන් තම දරුවා සමඟ නිතර කතාබහ කිරීමත්, අන්තර්ජාලයේදී හමුවන පුද්ගලයන්ගේ අනන්‍යතාව පහසුවෙන් විශ්වාස නොකළ යුතු බව පැහැදිලි කිරීමත් වැදගත්.