ලිංගික ඇසුරේ වාසි අවාසි ගැන දැන ගනිමු

නව යෙවුන් වියේදී  ලිංගික ඇසුර ඉතා නැවුම්, තෘප්තිමත් අත්දැකීමක්. නමුත් ලිංගික ඇසුර නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබද හොදින් දැනුවත් වී ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කළ යුතු වෙනවා.

පුද්ගලයන් ලිංගික ඇසුරේ යෙදෙන්නේ ඇයි? 

ලිංගික ඇසුරේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. 

ඉන් පළමුවැන්න වන්නේ ලිංගික තෘප්තියක් එනම්, සතුටක් ලබා ගැනීමයි. ලිංගික ඇසුරකදී තෘප්තියක් අපට දැනෙන්නේ අපගේ මොළයේ සතුටු රසායන හෙවත් එන්ඩෝෆින් නිකුත් වන නිසයි. 

ලිංගික ඇසුරේ අනෙක් අරමුණ වන්නේ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීමයි. 

නව යොවුන් වියේ ගැබ් ගැනීමෙන් ගැහැණු දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාව වලට මෙන්ම සමාජ තත්ත්වයටද බලපෑම් එල්ල වනවා. දරුවෙකු ලැබීම ඉතාම වගකීම් සහගත සංකීර්ණ ක්‍රියාවලියක්. ශරීරය ප්‍රජනනය සදහා සූදානම් වීමට අවුරුදු 20ක් වත් සැපිරිය යුතුයි. එමෙන්ම ගැබ් ගැනීමක් පිළිබද තීරණය සහකරු සහ සහකාරිය එකට සාකච්ඡා කර ගත යුතු වන අතර දරුවෙක් රැක බලා ගැනීම සදහා සමාජ ආර්ථික තත්ත්වයක්ද තිබිය යුතු වනවා. 

ලිංගික තෘප්තියට සහ ප්‍රජනනයට අදාල අවයව මොනවාද? 

ලිංගික තෘප්තියට සහ ප්‍රජනනයට ආදාල වල ප්‍රධානම අවයවය වන්නේ අපගේ මොළයයි. මොළය මගින්ම මනෝභාවයන් ක්‍රියාත්මක කරන අතර, හැඟීම් සහ ලිංගික සහ ප්‍රජනන කාර්යයන්වලට බලපාන හෝමෝන වර්ග නිකුත් වීමට සළස්වනවා. 

මොළය අපේ සිරුරේ විශාලතම මෙන්ම වඩාත්ම ප්‍රබල ලිංගික අවයවය මොළය බව සමහරුන්ගේ අදහසයි. 

ලිංගික ආශාව දැනෙන්නේ මොළයටයි. එවැනි ආශාවක් දැනුනු විට මොළය මගින් හදවතට පණිවිඩයක් යවනවා. හදවත ඒ පණිවිඩය පදනම් කර ගෙන ශිෂ්ණයට වේගයෙන් රුධිරය පෙම්ප කරනවා. ලිංගික ආශාවක් ඇති වූ විට පිරිමි ළමුන්ගේ ශිෂ්ණය ඍජු වන්නේ මෙසේ එයට රුධිරය පිරීම නිසයි.

ලිංගික ආශාවක් ඇති වූ විට ගැහැණු ළමුන්ගේ යෝනි තොල් වලටත් මේ විදියටම රුධිරය ලගා එනවා. පිටතට පෙණුනේ නැති වුණත් ලිංගික ආශාවක් දැනුණු විට යෝනි තොල් ඉදිමුණ ස්වභාවයක් ගන්නේ මේ නිසයි. 

ලිංගික ආශාවක් ලිංගික ක්‍රියාවක් දක්වා ගියොත් ළමයෙකුගේ ශිෂ්ණයෙන් ශුක්‍ර තරලය පිටවීමට ඉඩ තිබෙනවා. එය ශුක්‍රාණු දහස් ගණනක් ඇති සුදු හෝ ලා කහ පැහැති තරලයක්. මේ තරලය යෝනි මාර්ගයට ඇතුළු වුණොත් මගින් ගැබ් ගැනීමක් ඇති වීමට පුළුවන්. 

ලිංගික ආශාවක් ලිංගික ඇසුරක් දක්වා දුර ගියොත් ගැහැණු ළමුන් සුරාන්තය නම් වූ ලිංගික තෘප්තිමත් අවස්ථාවට පත් වීමට ඉඩ තිබෙනවා. එහිදී ඇතැම් අයට යෝනි ශ්‍රාවය එළියට විදීමක් හෝ වැඩිපුර යෝනි ශ්‍රාවය පිට වීමක් සිදු විය හැකියි. 

ලිංගික ඇසුර කියන්නේ ශිෂ්ණය සහ යෝනි මාර්ගය පමණක් යොදා ගෙන සිදු කරන ක්‍රියාවක් නොවෙයි. සිප ගැනීම, වැළද ගැනීම, තුරුළු වී සිටීම වගේ ඇතුළු කිරීමක් නොකරන ලිංගික ඇසුරක් ද පැවැත්වීමට පුළුවන්. 

ලිංගික ඇසුර මෙසේ කළ යුතුයි කියා නිශ්චිත නියමයක් නැහැ. තමන් කැමති අකමැති දේ තීරණය කරන්නේ තමා මිස වෙනත් අය නොවේ. 

නව යෞවන යෞවනියන් වැඩිහිටි (නිල්) චිත්‍රපට වල ඇති ලිංගික දර්ශන අනුකරණය කිරීමට පෙළඹිය හැකියි. මතක තබා ගන්න, එවැනි දර්ශන වල සිටින්නේ ලිංගික ඇසුරට හොදින් පුහුණු වූ නළු නිළියන්. මේ චිත්‍රපට කිහිපවරක් රූප ගත කර, සංස්කරණය කර සදා ඇති නිසා සැබෑ ලිංගික ඇසුර ගැන නිල් චිත්‍රපට වලින් ඉගෙන ගැනීමට බැහැ. 

නව යොවුන් වියේ සිටින ඔබ ලිංගික ඇසුර සහ තෘප්තිය පිළිබද දැන ගන්නවා වගේම ඉන් ඇති විය හැකි ප්‍රතිවිපාක මග හරවාගන්නා අයුරුද දැන ගැනීම වැදගත්.

නව යොවුන් වියේ ලිංගික ක්‍රියාකාරකම් මගින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල කිහිපයක් නම් පහතින් දැක්වෙනවා. 

  1. HIV  සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැලදීමේ අවදානම.
  2. අනවශ්‍ය ගැබ් ගැනීම්.
  3. තමා වරදක් කළා යැයි හැගීම නිසා ඇතිවන මාසික පීඩනය.
  4. ලිංගික දර්ශන රූගත කිරීමට සහ ඒවා යොදා ගෙන තර්ජනය කිරීමට අනෙක් අයට අවස්ථාව ලැබීම. 

මේවා වළක්වාගැනීමට හොදම ක්‍රමය වන්නේ ලිංගික ඇසුරේ යෙදීමෙන් වැළකීමයි. නමුත් නවයොවුන් වියේදී ලිංගික ඇසුර අත්දහා බැලීම අපගේ ස්වභාවික වර්ධනයේම කොටසක්.  කුතුහලය, නව අත්දැකීම් ලැබීමට ඇති ආශාව, සම වයස් කණ්ඩායම් වල බලපෑම, ආදර සම්බන්ධතාවයකදී කළ යුතුම දෙයක් බව සිතීම ආදී විවිධ හේතු නිසා ඔබ හෝ ඔබේ නවයොවුන් මිතුරු මිතුරියන් ලිංගික ඇසුර පවත්වනවා වන්නට පුළුවන්. මේ කුමන හේතුවකට ලිංගික ඇසුරේ යෙදුණත් එය ආරක්ෂිතව සිදු කිරීම අනිවාර්ය වනවා. 

ලිංගික ඇසුරකට පෙර සිතා බැලිය යුතු දේ 

කොන්ඩමයක් පාවිච්චි කිරීමට ආදරවන්තිය හෝ ආදරවන්තයා කැමතිද? 

සමහරු කොන්ඩමයක් පාවිච්චි කිරීම ගැන කතා කරන විට එය විශ්වාස පිළිබද දෙයක් බවට පත් කරනවා. කොන්ඩමයක් පාවිච්චි කිරීමෙන්, ලිංගික ඇසුරේ යෙදෙන දෙදෙනාටම ආරක්ෂාවක් ලැබෙන අතර කොන්ඩමය අවිශ්වාසයේ සලකුණක් නොවෙයි. ඒ නිසා කොන්ඩමයක් නොමැතිව ලිංගික ඇසුරේ යෙදීමට කිසි විටකත් එකඟවෙන්න එපා. 

ලිංගික ඇසුර පැවැත්වීමට මම කැමතිද? එයට කිරීමට මට කවුරුන් හේ බල කරනවාද? 

ඔබ ලිංගික ඇසුර පවත්වන්නේ වෙනත් කෙනෙකු සතුටු කිරීමටදැයි සිතා බලන්න. සම වසස් කණ්ඩායම් වල බලපෑම නිසා ලිංගික ඇසුර පවත්වන්නට තීරණය කළා වෙන්න පුළුවන්. එසේත් නැත්නම්, නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් යොදා ගෙන එය ලීක් කරනවා යැයි බිය ගන්නා ලිංගික ඇසුරට කෙනෙක් ඔබට බල කරනවා වන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවක ලිංගික ඇසුර සදහා එකඟ වන්න එපා. විශ්වාසවන්ත වැඩිහිටියෙකුට මේ වල පවසා උදවු ලබා ගන්න ඔබට පුළූවන්. ලිංගික බල කිරීම් වලින් දරුවන් ආරක්ෂා කිරීමට අපේ රටේ නීති ගණනාවක් තිබෙනවා. 

තමන් සූදානම් යැයි නිශ්චිතවම දැනෙන තුරු ලිංගික ඇසුරක් පැවැත්වීමට අවශ්‍ය නැහැ.

වැඩිදුර කියවන්න – කැමැත්තට ගරු කරමු

ලිංගික ඇසුර කවුරුන් හෝ විසින් රූපගත කිරීමට ඉඩ තිබෙනවාද? 

මෙය ලිංගික ඇසුරේ යෙදෙන සෑම කෙනෙක්ම සිතා බැලිය යුතු ප්‍රශ්ණයක්. වැසිකිළි, හෝටල් කාමර වල වගේම නිවෙස් වලත් ජනෙල් කවුල් වල සැගවූ කැමරා (hidden camera) සවි කර තිබෙන්නට පුළුවන්. ඒ නිසා සැගවුණු කැමරා ගැන විමසිලිමත් වෙන්න. හොරන් රූපගත කරනවා වගේම, ලිංගික ඇසුරේ යෙදෙන අය කැමැත්තෙන් එය රූප ගත කරන්නටත් පුළූවන්.

මේ මොන විධියට රූප ගත කළත් එය අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට යැවිය හැකියි. මේ විදියට රූප ගත කරන නවයොවුන් වියේ ලිංගික දර්ශණ විකුණා මුදල් සොයන ජාවාරම්ද තිබෙනවා. 

ඔබට ඔබේ සහකරු හෝ සහකාරිය කොතරම් විශ්වාසවන්ත කෙනෙක් වුවත්, ලිංගික දරුශන රූපගත කිරීමට එකග වන්න එපා. ඒ සදහා බල කරනවානම්, සහය ලබාගන්න. 

වැඩිදුර කියවන්න –  මගේ පෞද්ගලික ඡායාරූප (nudes) ප්‍රසිද්ධියේ පළ කරනවා යැයි කවුරුන් හෝ තර්ජනය කරනවානම් මට කළ හැක්කේ මොනවාද? 

අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගැනීම 

ගැබ් ගැනීමක් වලක්වා ගැනීම ප්‍රතිසංධිරෝධනය යනුවෙන් හැදින්වෙනවා. ඒ සදහා විවිධ ක්‍රම තිබෙනවා. ඔබ ලිංගිකව හැසිරෙන කෙනෙක් වුවත් නැති කෙනෙක් වුවත් ප්‍රතිසංධිරෝධනය ගැන දැන සිටීම වැදගත්.

නව යොවුන් වියේ ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට හොදම ක්‍රමය වන්නේ ලිංගික හැසිරීම් වලින් වැළකී සිටීමයි.  

ශ්‍රී ලංකාවේදී ලබා ගත හැකි නවීන උපත් පාලන ක්‍රම කිහිපයක් ගැන තොරතුරු පහතින් දැක්වෙනවා.

  1. කොන්ඩමය (රබර් කොපුව)

ප්‍රාණවත් වූ ශිෂ්නය ආවරණය කිරීම සඳහා භාවිතා කරන රබර් කොපුව කොන්ඩය යනුවෙන් හැදින්වනවා.

ලිංගික සංසර්ගයේ යෙදෙන සෑම විටම අළුත් කොන්ඩමයක් භාවිතා කළ යුතුයි.

කොන්ඩමය ආවරණයක් ලෙස ක්‍රියාකරන බැවින් යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු තැන්පත් වීම වළක්වනවා.

කොන්ඩමය අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ආරක්ෂාවක් මෙන්ම ලිංගිකව සම්ප්‍රේණය වන ආසාදන වලින්ද ආරක්ෂාවක් ලබා දෙනවා. (Dual Protection) 

ගැබ් ගැනීමකින් සහ ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන යන දෙකෙන්ම ආරක්ෂා වීමට නම් කොන්ඩම් භාවිත කළ යුතුයි. එක් කොන්ඩම් පැකට්ටුවක කොන්ඩම් තුනක් තිබෙන අතර, සෑම ලිංගික හැසිරීමකදීම අළුත් කොන්ඩමයක් නිවැරදිව පැළදිය යුතු වනවා.

ලිංගිකව ඇසුරේ යෙදෙන ඔබේ නව යොවුන් වියේ මිතුරෙකු හෝ මිතුරියක් සිටිනවානම් කොන්ඩමයක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි ගැන ඔවුන් දැනුවත් කරන්න. 

කොන්ඩමයක් නිවැරදිව පළදින ආකාරය කොන්ඩම් පැකට්ටුවේ දක්වා තිබෙනවා. 

2. ප්‍රතිසංරෝධක ගිලින පෙති

ගිලින පෙති යනු ගැබ් ගැනීම වළක්වන හෝමෝන අඩංගු උපත් පාලන ක්රමයක්. සෑම විටම නියමිත වේලාවට පෙත්ත ලබා ගන්නේ නම් මෙය ආරක්ෂිත, දැරිය හැකි මිළක් සහිත සහ ඵලදායී ක්රමයක්.

ගිලින පෙති එක් පැකැට්ටුවක පෙති 28 ක් ඇත. මුල් පෙති 21 (ලා පැහැති පෙති), හෝමෝන (ඊස්ට්රජන් හා ප්රොජෙස්ටින්) අඩංගු වේ. ඉතිරි පෙති 07 (දුඹුරු පැහැති පෙති) යකඩ අඩංගු වේ. 

ගිලින පෙති දිනපතා නිසියාකාරව ගැනීමෙන් ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්රාවයන්හි ඝනකම වැඩි කර ශුක්රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

 

3. නික්ෂේපණය (DMPA) එන්නත්

ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනකම වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

සාමාන්‍ය කාන්තාවකට මෙම එන්නත ලබා ගැනීමට වඩාත්ම උචිත වන්නේ ඔසප් වීම පටන් ගෙන මුල් දින 7 තුළ දී යි. ප්‍රසූතියෙන් සති 6 කට පසු ද එන්නත ලබා ගන්න පුළුවන් .

දින 90 කට වරක් මෙම එන්නත ලබා ගත යුතු වනවා.

 

 

4. හෝමෝන කරල් තැන්පතුව

හෝමෝන කරල් තැන්පතු යනු දීර්ඝ කාලීනව ක්‍රියා කරන ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු සිහින් කරල්ය.

මෙමගින් ඩිම්බ වර්ධනය හා මෝචනය වළක්වන අතර, ගැබ්ගෙල ස්රාවයන්හි ඝනකම වැඩි කර ශුක්‍රණු ගර්භාෂය තුළට යාම අවහිර කරනවා.

දැනට ලංකාවේ භාවිතා කරන කරල් තැන්පතු මගින් අවුරුදු 3ක් හෝ  5ක් දක්වා ගැබ්ගැනීම් වළක්වා ගැනීමට පුළුවන්.

මෙය පුහුණුව ලත් වෛද්‍යවරයෙකු විසින් කාන්තාවකගේ උඩු බාහුවේ ඇතුල් පැත්තෙහි කුඩා කැපුමක් තුළින් සමට යටින් තැන්පත් කරනවා.

කාල සීමාව අවසානයේ කරල් ඉවත් කරගත යුතුය. අවශ්‍ය නම් නැවත කරල් තැන්පත් කරගත හැකියි. හෝමෝන කරල් තැන්පතු දීර්ඝ කාලීනව ගැටළුවකින් තොරව නැවත නැවත තැන්පත් කර ගත හැකියි.

ආදරවන්තයෙකු සමග එකට ජීවත් වන නව යොවුන් වියේ පසුවන ඔබේ මිතුරියක් සිටිනවානම්, ලඟම ඇති MOH කාර්යාලයෙන් මෙවැනි කරල් තැන්පතුවක් ලබා ගැනීමට ඇයව දිරිමත් කරන්න. 

5. අන්තර් ගර්භාෂ තැන්පතුව (IUD) / කොපර් T තැන්පතුව

මෙය තඹ හා ප්ලාස්ටික් අඩංගු, ශරීරයට හානියක් නොවන නැමෙන සුළු කුඩා තැන්පතුවක්.

මෙමගින් අවුරුදු 10 ක් දක්වා අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකියි.

ඒ අතර දරුවෙක් අවශ්‍ය වුවහොත් එය පහසුවෙන් ඉවත් කරවා ගෙන ඕනෑම අවස්ථාවක සරුභාවයට පත් විය හැකියි. අවුරුදු 10අවසානයේ IUD තැන්පතුව ඉවත් කළ යුතු අතර තවදුරටත් ගැබ් ගැනීමෙන් වැළකීමට අවශ්‍ය නම් අළුත් තැන්පතුවක් එදිනම නැවත තැන්පත් කරවා ගත යුතු වනවා.

IUD තැන්පතුව මඟින් ප්‍රධාන වශයෙන් ඩිම්බය සංසේචනය වීම වළක්වන අතර කලාතුරකින් හෝ සංසේචනයක් සිදුවුවහොත් සංසේවනය වූ ඩිම්බය රෝපණය වීම වළක්වනවා.

පවුල් සැලසුම් සායනයක දී පුහුණුව ලද වෛද්‍යවරයකු හෝ හෙද සොහොයුරියක් විසින් මෙය ගර්භාෂ තුළ තැම්පත් කරනවා.

මෙම ක්‍රමය දිගුකාලීනව පාවිච්චි කළ හැකි ප්‍රතිසංධිරෝධකයක් වන අතරම, අවශ්‍ය අයෙකුට කෙටිකාලීන ක්‍රමයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හදිසි ගැබ්ගැනීමක් වළක්වාගැනීමටත් කොපර් T  භාවිත කරනවා.

හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීම 

හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීම යනුවෙන් අදහස් වන්නේ  

  1. ලිංගික බලහත්කාරකමට මුහුණ දුන් අවස්ථාවක,
  2. අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු
  3. කොන්ඩමය වැරදියට පැළදීම නිසා ඉරුණු හෝ ගැලවුණු අවස්ථාවක 

අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගැනීමයි. ඒ සදහා ක්‍රම තුනක් පහතින් දක්වා තිබෙනවා. මේවා හැමදාම පාවිච්චි කළ හැකි ක්‍රම නොවේ.

  1. හදිසි උපත් පාලන පෙති (morning after pill)

මේ පෙති ෆාමසි වලින් පෙති එකේ හෝ දෙකේ පැකට්ටු ලෙස මිලදී ගන්න පුළූවන්. 

පෙති පාවිච්චි කළ යුතු ආකාරය පැකට්ටුවේ දක්වා තිබෙනවා.  

අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වා දින පහකින් පසුව මේ පෙති ලබා ගැනීමෙන් සාර්ථක්වයක් බලාපොරොත්තු වීමට. බැහැ. 

මතක තබා ගන්න, මෙය දිනපතා භාවිත කළ හැකි ක්‍රමයක් නෙවේ.

  1. අන්තර්ගර්භාෂ තැන්පතුව (IUD)

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් දින 5 ක් ඇතුළත ලූපයක් තැන්පත් කිරීමෙන්ද හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට පුළුවන්ම. මේ ක්‍රමය වෛද්‍යවරයෙකු විසින් සායනයකදී සිදු කළ යුතු වනවා. 

  1. සාමාන්‍ය පවුල් සැලසුම් ගිලින පෙති

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු හදිසි ගැබ් ගැනීම් වළක්වන පෙති සොයා ගන්නට නැති නම්,  හැකි ඉක්මණින් (පැය 72 ක් තුළ) සාමාන්‍ය උපත් පාලන පෙති  4 ක් ලබා ගෙන තවත් පෙති 4 ක් ඉන් පැය 12 කින් පසු ලබා ගත යුතු වනවා.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් වළක්වාගන්නේ කෙසේද? 

ලිංගික ඇසුර ආරක්ෂිතව සිදු කලේ නැතිනම් ගැබ් ගැනීමක් වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක්ද බෝ වෙන්න පුළුවන්.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වෙන එක වළක්වා ගන්න හොදම ක්‍රමය වන්නේ ලිංගිකව හැසිරෙන සෑම විටම නිවැරදිව කොන්ඩමයක් භාවිතා කිරීමයි. 

ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන සහ ඒවාගේ රෝග ලක්ෂණ පිළිබද විස්තරයක් පහතින් දැක්වෙනවා. 

ලිංගික ඇසුරකදී ආසාදිත පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට පැතිරෙන ආසාදන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ලෙස හැඳින්වෙනවා.

පසු ගිය වසර කිහිපය තුළ අප රටේ නව යොවුන් වියේ පසුවන්නන් අතර HIV ඇතුළු අනෙකුත් ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන වැඩි වී ඇති බව සෞඛ්‍යය අමාත්‍යංශයේ දත්ත අනුව පෙනී වනවා.  ඒ නිසා ලිංගික ව සම්ප්‍රේෂණය වන ආසාදන සහ ඉන් වැළකීම පිළිබඳ දැනුම්වත් වී සිටීම නව යෙවුන් වියේ ඔබට ඉතාම වැදගත්. 

මූලික වශයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන කාණ්ඩ 4කට බෙදා දැකිව්ය හැකියි. 

බැක්ටීරියා මගින් ඇති වන ආසාදන –  ක්ලැමීඩියාව, උපදංශය, ගොනෝරියාව

මුල් කාලයේදීම හදුනාගතහොත් මේවාට පහසුවෙන් ප්‍රතිකාර ලබා ගෙන සුව වීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා.  

වෛරස් මගින් ඇති වන ආසාදන – හර්පීස්, ලිංගික ඉන්නන්, එච්අයිවී

වෛරස් මගින් ඇති වන ආසාදන සම්පූර්ණයෙන් සුව කිරීමට ප්‍රතිකාර නැහැ. නමුත් මුලදී හදුනාගත් විට ආසානය පාලනය කර ගෙන සාමාන්‍ය පරිදි ජීවත් වීමට පුළුවන්. 

දිලීර මගින් ඇති වන ආසාදන – කැන්ඩිඩයිසීස්

දිලීර ආශ්‍රයෙන් හට ගන්නා ආසාදන සම්පූර්ණයෙන් සුව කිරීමට පුළුවන්.

පරපෝෂිතයින් මගින් ඇති වන ආසාදන  – ස්කේබීස් , ට්‍රයිකොමනාසිස් 

පරපෝෂිත ආශ්‍රයෙන් හට ගන්නා ආසාදන සම්පූර්ණයෙන් සුව කිරීමට පුළුවන්.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝවී රෝග ලක්ෂණ මතු වීමට ටික කාලයක් ගතවනවා. බොහෝ විට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව පරීක්ෂණයක් සදහා යොමු වී වැදගත්. මුල් කාලයේදීම හදුනාගතහොත් මේවාට පහසුවෙන් ප්‍රතිකාර ලබා ගෙන සුව වීමට හෝ පාලනය කර ගැනීමට  ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව තිබෙනවා.