නව යෞවනයට දැනුවත්ව මුහුණ දෙමු

ඇගට ගානට තිබුණ ටී ෂර්ට් එක හිර වෙලාද? දන්නෙම නැතුව ඉස්කෝලේ යුනිෆෝම් එක කොට වෙලාද?

අවුරුදු 10 – 19 අතර කාලයට කියන්නේ නව යොවුන් විය කියලා.

ළමා කාලයේ ඉදලා නව යොවුන් වයසට එන කොට අපේ ශරීරයේ වෙනස්කම් රාශියක් ඇති වනවා.

මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ කාලයේදී අපේ ශරීරයේ, සිතුවිලි වල වගේම අපි අනෙක් අය සමග සම්බන්ධතා පවත්වන විදියත් වෙනස් වෙනවා.

වැඩිවියට පත් වන කාලය වන විට ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත වෙනස් නම් රැසක් සිදු වනවා.  මේ වෙනස් කම් ඇති වෙන්නේ සිරුරේ නිපදවෙන හෝමෝන මගින්. හෝමෝන කියන රසායන ද්‍රව්‍යය නිපදවන්නේ සිරුරේ තිබෙන, ‘ග්‍රන්ථි’ නැමැති අවයව මගින්. ඒ අතුරින් ප්‍රධානතම වන්නේ පිටියුටරි ග්‍රන්ථියයි. මිනිස් මොළයේ පහළ කොටසේ පිහිටි මේ කුඩා ග්‍රන්ථිය තමයි අනෙක් ග්‍රන්ථීන්ට හෝමෝන උත්පාදනය කිරීමට පොළඹවන්නේ.

පිරිමි දරුවන්ගේ වෘෂණ ග්‍රන්ථි මගින් ‘ටෙස්ටොස්ටරන්’ කියන පුරුෂ ලිංගික හෝමෝනය නිපදනවා.

ගැහැණුදරුවන්ගේ ඩිම්බකෝෂ මගින් ස්ත්‍රී ලිංගික හෝමෝන නිපදවනවා. ඒවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ට්‍රෝන් නම් වෙනවා.

මේ වසයේදී ඇති වන ප්‍රධාන වෙනස වන්නේ ගැහැණු දරුවන්ගේ ඩිම්භ මේරීම ආරම්භ වීමත් පිරිමි දරුවන්ගේ වෘෂණ වලින් ශුක්‍රානු නිපදවීමත්ය.

ගැහැණු දරුවන්ගේ කායික වෙනස් වීම්

  • උස හා බර වැඩි වීම
  • පියයුරු වැඩීම
  • සම පැහැපත් වීම
  • උකුළ පළල් වීම
  • කලවා මහත් වීම
  • කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම ඇති වීම
  • මුහුණේ කුරුළෑ ඇති වීම
  • යෝනි ස්‍රාවය ඇති වීම
  • ආර්තවය හෙවත් ඔසප් චක්රය ආරම්භ වීම

 

පිරිමි දරුවන්ගේ කායික වෙනස්වීම්

  • උස හා බර වැඩි වීම
  • ශිශ්නය, වෘෂණ කෝෂ හා පුරස්ථ ග්‍රන්ථි විශාල වීම
  • උරහිස් පළල් වීම
  • කලවා, මාංශීපේෂී මහත් වීම
  • පපුව, කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව රෝම ඇති වීම
  • මුහුණේ කුරුළෑ ඇති වීම
  • ස්වරාලය පෙදෙස විශාල වීම
  • කටහඬ ගොරෝසු වීම
  • උඩු රුවුල ඇති වීම
  • ශුක්‍ර මෝචනය සිදු වීම

 

 

මේ කායික සහ මානසික වර්ධනයන් සමග මේ කාලය කුළදී අපි සමාජයේ හැසිරෙන ආකාරයද වෙනස් වනවා.

  • ආදර හැගීම් පහළ වීම
  • සම වයස් ඇසුර ප්‍රිය කිරීම
  • කල්ලි ගැසීම
  • අයුක්තිය/ ආසාධාරණයට එරෙහි වීම
  • පොදු කටයුතු කිරීමට ආශා කිරීම
  • වැඩිහිටි සමාජයට පිවිසීමට ආශා කිරීම
  • අන්‍යයන් අතර කැපී පෙනීමට ආශා කිරීම
  • නායකත්වයට කැමති වීම

ඒ අතරින් කිහිපයක්. මේ වෙනස් කම් ඔබත් අත් දකිනවාද?

 

ඔසප් වීම ආරම්භ වීම

මේ කාලයේදී ගැහැණු ළමුන් අත්දකින එක් වෙනස් කමක් වන්නේ  ඔසප් වීම ආරම්භ වීමයි. සමාජයේ මල්වර වීම, වැඩිවිය පැමිණීම වශයෙන් හදුන්වන්නේ මෙම පළමු ඔසප් වීමයි.

වැඩිවිය පැමිණෙන කාලය අතරතුරදී ගැහැණු ළමයෙකුගේ ප්‍රජනන පද්ධතිය වර්ධනය වනවා. ස්ත්‍රී ප්‍රජනන බීජ හැදින්වෙන්නේ ඩිම්භ යන නමින්. ගැහැණු දරුවෙක් උපදින විට ඇගේ  ඩිම්බ කෝෂ වල නොමේරූ ඩිමිබ දහස් ගණනක් පවතිනවා. ගැහැණු දරුවන් වැඩිවියට පත් වන කාලයේදී මේ ඩිම්බ මේරීම ආරම්භ වනවා. මෙම මෝරන ඩිම්බ වරකට එක බැගින් ඩිම්භ කෝෂයෙන් පැලෝපීය නාලය වෙත මුදාහැරීමද මේ කාලයේදී ආරම්භ වනවා.

ඔසප් චක්‍රයේ පළමුවන සතිය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිපුර ශ්‍රාවය වීම නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තියේ (එන්ඩෝමෙට්‍රියම) මතුපිට ස්ථරය වැඩෙනවා.  ඉන්පසුව මේරූ ඩිම්භයක් ඩිම්භ කෝෂයේ මතුපිටට පැමිණෙන අතර, පැලෝපීයනාලයේ අග ඇති තන්තු මගින් එම ඩිම්භය පැලෝපීය නාලය ඇතුළට ගමන් කිරීමට සලස්වනවා.  මේ කාලය තුළ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මගින් ගර්භාෂයේ බිත්තිවල රුධිරවාහිනී තව දුරටත් වර්ධනය කරනවා. මෙසේ ගර්භාෂ බිත්තිය රුධිරවාහිනී වලින් පෝෂණය වෙමින් වැඩෙන්නේ ඩිම්භ කෝෂයෙන් පිටවූ ඩිම්භය සංසේචනය වී ගැබ් ගැනීමක් ඇති වුවහොත් වැඩෙන කළලයට පෝෂණය සැපයීමට සුසුදු පරිසරයක් ඇති කිරීමටයි.

ඩිම්භය සංසේචනය නොවූ විට, ඔසප් චක්‍රයේ මීලග අදියර වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ශ්‍රාවය වීම පහළ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ගර්භාශයේ ඇතුළු බිත්තිය ගර්භාෂයෙන් ගැලවීමට පටන් ගන්නා අතර රුධිරයත් සමග එම ශ්ලේෂ්මල පටල යෝනි මාර්ගය දිගේ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. ඔසප් වීම ලෙස හැදින්වෙන්නේ මෙයයි. මෙම ක්‍රියාවලිය චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එය ඔසප් චක්‍රය ලෙස හැදින්වෙනවා.

 

අනේ මමත් ඒ වගේ වුනානම්… 

නව යොවුන් වියේදී ලිංගික හැගීම් ඇති වීම

වැඩිවිය පැමිණීමේ කාලය තුළ ඔබේ ශරීරය ලිංගික වශයෙන් පරිණත වනවා. බොහෝ දෙනෙක් මේ කාලයේදී ස්වයං වින්දනය අත්හදා බලනවා. මේ කාලයේදී ලිංගික හැසිරීම් පිළිබද කුතුහලයක් ඇතිවීම මෙන්ම වෙනත් කෙනෙකු පිළිබද ආකාර්ශනයක් ඇති වීම සිදු විය හැකියි. වැඩිවිය පැමිණන කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි.

ප්‍රේමණීය නවකතාවක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම මගින් වෙනදා නොදැනුණු හැගීමක් දැනෙන්නට පුළුවන්. මෙම හැගීම් ස්වභාවිකයි. ඒ ගැන වරදකාරී හැගීම් ඇති කර ගත යුතු නැහැ. ඔබට ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම් පිළිබද ප්‍රශ්ණ තිබෙනවානම් ඒ ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න. ඔවුන්ගේ සහය ලබා ගන්න.

ලිංගික අවයව ඍජු වීම ගැන දැන ගනිමු

මොලයේ සිදු වන උත්තේජනයක් නිසා ලිංගික අවයව ඍජු වීමක් සිදු වනවා. ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන්ගේ ලිංගික අවයව ඍජු වීම පිටතින් හදුනාගැනීමට පුළුවන්.

එය සිදු වන්නේ  ලිංගික උත්තේජනයකදී ලිංගික අවයව වලට එනම්, ශිෂ්ණයට/ යෝනි මාර්ගයේ බිත්ති, භගමනිය සහ යෝනි තොල් වලට තිබෙන රුධිර සැපයුම ඉහල යන නිසායි. මෙසේ රුධිර සැපයුම ඉහල යන නිසා ගැහැණු ළමුන්ගේ යෝනි මාර්ගයේ බිත්ති, භගමනිය, යෝනි තොල් සහ තන පුඩු තද ස්වභාවයක් පෙන්වන අතර ස්පර්ශයට ඉතා සංවේදී වනවා.  පිරිමි ළමුන්ගේ ශිෂ්ණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගින් වැඩි වී ඉදිරියට ඍජු වීමක් පෙන්වනවා.

ගැහැණු ළමයෙකුගේ ලිංගික වශයෙන් උත්තේජනය වූ විට යෝනි මාර්ගයේ බිත්ති දිගේ ශ්‍රාවයක් වෑහෙනවා. එය යෝනි ශ්‍රාවයයි.  ලිංගික සංසර්ගයකදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරන අතරම යෝනි මාර්ගයේ සීරීම් ඇති වීම අඩු කරනවා.

ලිංගික ඇසුර කියන්නේ කුමක්ද

විවිධ පුද්ගලයන් ලිංගික ඇසුර විවිධ ආකාරයෙන් නිර්වචනය කරනවා. ලිංගික ඇසුර කියන්නේ ඉතාම පෞද්ගලික සිදු වීමක්. ඒ නිසා බෙහෝ අය ඒ ගැන කතා කිරීමටත් අකමැතියි. නමුත්, ලිංගික ඇසුර යනු සත්ව ලෝකයේ ස්වභාවිකවම පවතින දෙයක්.

සිදු කරන ආකාරය සහ යෙදා ගන්නා අවයව අනුව ලිංගික ඇසුර ආකාර කිහිපයකට නම් කළ හැකියි.

යෝනි සංසර්ගය ( ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීම )

මුඛ සංසර්ගය ( ලිංගික අවයව මුඛයෙන් තෘප්තිමත් කිරීම)

ගුද සංසර්ය ( ගුද මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීම)

ඇදුම් සහිතව ඇග ඇතිල්ලීම

ඇදුම් නැතිව ඇග ඇතිල්ලීම

කළවා සංසර්ලය  (ශිෂ්ණය කළවා අතර තබා)

ස්වයං වින්දනය (තමන්ගේම ලිංගික අවයව ස්පර්ෂ කිරීම)

ඔබට ලිංගික ඇසුර කියන්නේ මින් කුමක් වුවත්, තවත් කෙනෙකු සමග ලිංගික ඇසුරක යෙදීම ඉතාම බරපතල වගකීමක්. ලිංගික ඇසුරට පෙර  ගැබ් ගැනීමක් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම සදහා  ඇති උපකරණ පිළිබද දැන සිටීම වැදගත්. ඒ වගේම ‘කැමැත්ත’ ගැන දැනුවත් වී සිටිය යුතුයි. කැමැත්ත නැතිව සිදු කළොත් එය ලිංගික අතවරයක් බව අමතක කරන්න එපා.

ලිංගික ඇසුර ගැන සිතන විට ඔබ කැමති දේවල් පමණක් නොව අකමැති දේවල් ගැනද සිතිය යුතුයි. තමන් අකමැති දෙයටක් ප්‍රතික්ෂේප කිරීමට එවැනි දෙයක් ගැන කලින් සිතා තිබීම සහයක් වනවා.

තමන් සූදානම් යැයි නිශ්චිතවම දැනෙන තුරු ලිංගික ඇසුරක් පැවැත්වීමට අවශ්‍ය නැහැ. නව යොවුන් වියේ පසුවන දරුවන් ලිංගික අත්හදා බැලීම් වලට යොමු වීමට ඉඩ තිබෙනවා. මතක තබා ගත යුතු ප්‍රධානම දෙය වන්නේ ඔබ අකමැතිනම්, එය කළ යුතු නැහැ.

නව යොවුන් වියේදී ලිංගික ඇසුරක් සිදු කරනවා නම්, එය ඔබේ සහ ඔබේ පවුලේ වටිනාකම් වලට ගැලපෙනවාදැයි සිතා බලන්න. එමෙන්ම ඔබේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වලට බාධාවක් වන ආකාරයෙන් ලිංගික ඇසුර සදහා යොමු වීම සුදුසු නැහැ.

අභියෝග වලට දිරියෙන් මුහුණ දෙමු

 

නව යොවුන් විය ගැන දැනුම මනිමු

1. ගැහැණු දරුවෙක් උපතින් ගෙන එන ප්ජනන සෛල හදුන්වන්නේ කුමන නමින්ද?

2. පිරිමි දරුවෙකු වැඩිවියට පත් වී බව පෙන්වන ලක්ෂණයක් නොවන්නේ

3. ඔසප් වීම ගැන පවතින මිත්යා මතයක් වන්නේ

4. ගැහැණු දරුවෙකු වැඩවිය පත් වී ඇති බව පෙන්වන ලක්ෂණයක් නොවන්නේ

5. නව යොවුන් වියේදී මුහුණ දෙන වෙනස්කම් සදහා මූලිකව බලපාන්නේ,

Call Us - (+94) 768797530