යහපත් සම්බන්ධතා ගොඩනගා ගනිමු

ඕනෑම සමාජයක, ජීවත් වන පුද්ගලයන් විවිධාකාර මිනිස් සබඳතා රාශියකට හිමිකම් කියනවා. පවුලේ සාමාජිකයන්, මිතුරන්, අසල්වාසීන්, පෙම්වතා හෝ පෙම්වතිය, ගුරුවරු, පන්තියේ සිසු සිසුවියන් යනාදී වශයෙන් විවිධ වූ අය සමග විවිධමට්ටමේ සබඳතා පැවැත්වීම ස්වභාවිකයි. පුද්ගල සම්බන්ධතා ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වනවා. මේ සම්බන්ධතා විශ්වාසය, විවෘත බව, කතාබහ කරන දේවල්, සමීප බව, බල සම්බන්ධතාවය, ගෞරවය, සෙනෙහස වැනි දේ අනුව වෙනස් වනවා.

නව යොවුන් වියේදී අපි අතර ආදර සම්බන්ධතා ඇති වීම සාමාන්‍යයි. මේ කාලෙය්දී සම වයසේ කෙනෙකු ගැන ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි.

ආදර සබඳතා

ආදරය කියන්නේ සංකීර්ණ චිත්තවේග ඇති කරවන ප්‍රබල හැඟීමක්. ඇතැම් විට කෙනෙක් හා පෙමින් බැඳීම ඒක පාර්ශවික අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔබට දැනෙන දේ අනෙකාට ඔබ කෙරෙහි පෙරලා නොදැනෙන්න ඉඩ තිබෙනවා. 

යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්.

සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යාම සදහා ඵලදායී සන්නිවේදනය ඉතාම වැදගත් කුසලතාවයක්.

විවෘත, අවංක සහ ගෞරවනීය විදියට එකිනෙකා සහ කත බහ කිරීම ඉන් අදහස් වෙනවා. හොදින් ඇහුම්කන් දීම, ඔබේ සිතුවිලි සහ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම වගේම ඔබේ සහකරුගේ/සහකාරියගේ අදහස්වලට හිත නොරිද්දවා කතා කිරීම ඇතුළත්. 

ආදරය කරන කෙනා සමග තමන් කැමති දේවල්, ආශාවන් වගේම තමන් අකමැති දේවල් ගැනද කතා බහ කරන්න.

“මම නිරුවත් ෆොටෝ එවන්න කැමැති නැහැ”

“මම ආසයි වැව රවුමේ ඔයත් එක්ක ඇවිදගෙන යන්න”

“මගේ ෆෝන් එක බලන්න කාටවත් දෙන්න මම කැමති නැහැ”

එවැනි අවස්ථාවලට උදාහරණ කිහිපයක්.

සතුට, වේදනාව, තෘප්තිය, ඊර්ෂ්‍යාව, තනිකම වැනි බෙහෝ හැගීම් ආදරය සමග අප වෙන එනවා. මේ හැගීම් ඔබේ අධ්‍යාපනයට සහ සමාජ ආර්ථික ජීවිතයට හානියක් නොවන අයුරින් හසුරුවා ගැනීමට නව යෞවුන් අපට විශ්වාසවන්ත වැඩිහිටියන්ගේ සහය අවශ්‍ය වනවා.

ඕනෑම කෙනෙක් හට ආදර හැඟීම් පහල වෙන්න පුළුවන්. වැඩිහිටි, යෞවන මේ ඕනෑම කෙනෙකු හට ආදර හැඟීම් පහළ විය හැකියි. කෙනෙකුගේ ජීවිත කාලය තුළ එක්වරක්, දෙවරක් හෝ ඊට වඩා කීප සැරයක් වුවත් ආදර හැඟීම් පහළ වීම ස්වභාවිකයි.

ඇතැම් විම ප්‍රචණ්ඩත්වය සහ හිංසනය, ආදරය ලෙස වරදවා වටහා ගන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස අපි කුඩා කාලයේදී අම්මා හෝ තාත්තා අපට පහර දුන් අවස්ථාවක හෝ බැන වැදුණ අවස්ථාවක “අම්මා ආදරේටනේ ගහන්නේ” , “තාත්තා බණින්නේ ආදරේටනේ” වගේ දේවල් ඔබ අසා ඇති.

දරුවන්ට පහර දීම ශ්‍රී ලංකාවේ නීතියෙන් වරදක් බව ඔබ දන්නවාද?

ඒ වගේම ආදර සම්බන්ධතාවකදී ඔබට පහර දීමක් CHECK ENG

 

ආදර සම්බන්ධතාවයකදී එක්කෙනෙක් කියන විදියට අනිත් කෙනා ඉන්න ඕනෙද?

 

“නැහැ. ආදර සම්බන්ධතාවයක් සමානාත්මතාවය පදනම් කර ගන්න ඕනේ. පෙම්වතා කිව්වත් පෙම්වතිය කිව්වත් තමන් අකමැති දෙයක් කිරීමට පෙළඹෙන්න එපා. ඔබේ හැසිරීම, ආශ්‍රය කරන යහළුවන්, අදින පළදින විදිය වෙනස් කර ගැනීමට බල කරනවා නම් එය බල සම්බන්ධයක් මිස ආදර සම්බන්ධතාවයක් නෙවෙයි.”

 

ආදර සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යාම සදහා ඉඟි

කතා බහ කරන්න – ගැටුම් විසදා ගන්න : සම්බන්ධතාවයක් තුළ ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. අපි කළ යුතු වන්නේ ඒවා සාමකාමීව විසඳාගැනීමයි. දොස් පැවරීමට වඩා එකගතාවය, සහකම්පනය සහ අවබෝධය තුළින් ගැටුම් විසදා ගැනීමට ඉගෙන ගැනීමෙන් අපේ සම්බන්ධතා සතුටුදායක කර ගැනීමට අපිට පුළුවන්. සාමකාමීව ගැටුම් විසදා ගැනීම සදහා කේන්තිය පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. කේන්තිය පාලනය කර ගැනීම පිළිබද දැන ගැනීමට මේ දිගුවට යන්න.

අධ්‍යාපන අවස්ථා වලට ඉඩ දෙන්න : තමන් ආදරය කරන කෙනාගේ අධ්‍යාපනික ඉලක්ක කරා යාම සදහා සහය දෙන්න.  ඔවුන්ගේ බලාපොරොත්තු සාක්ෂ්‍යාත් කර ගැනීම සදහා ධෛර්යමත් කරන්න.

සැක නොකරන්න : තමන් ආදරය කරන කෙනා තමාට බොරු කියනවා යැයි නිතර සිතීමෙන් වැළකීමට උත්සහ කරන්න. තමන් ආදරය කරන කෙනා වෙනත් අයෙකුට සමීප වෙතැයි සැක කරමින් ඔහු හෝ ඇගේ නිදහස සීමා කිරීමෙන් වළකින්න. මිතුරු මිතුරියන්ගෙන් ඈත් කරමින් “ඔයා අයිති මට විතරයි” , “ඔයා මගේමයි”, “ඔයා දිහා වෙන කාටවත් ඇහැක් ඇරලා බලන්න දෙන්නේ නෑ”, “ඔයා මට නැති වුණොත් මම මැරෙනවා” වැනි අයිතිය හඟවන දේ පැවසීමෙන් ආදර සම්බව්ථවය අනෙක් කෙනාට කරදරයක් වීමට ඉඩ තිබෙනවා. මතක තබා ගන්න, කොතරම් ආදරය කළත් තවත් ඔහු හෝ ඇය ඔබට අයිති නැහැ. ඔබ අයිති ඔබට පමණයි. ඇය අයිති ඇයට පමණයි. ඔහු අයිති ඔහුට පමණයි.

එක්ව සතුට වෙන්න : දෙදෙනාම කැමති විනෝදාංශවල නිරත වන්න. උදාහරණයක් ලෙස ඔබ චිත්‍රපටයක් නැරඹීමට යන්වානම්, දෙදෙනාම කැමති චිත්‍රපටයක් තෝරා ගන්න. කෑමට යනවානම් දෙදනොම කැමති ස්ථානයක් තෝරා ගන්න.

දිරිමත් කරන්න : එකිනෙකාගේ හැගීම් සහ අදහස් වලට උනන්දුවෙන් සවන් දෙන්න. අභියෝගාත්මක කාල වලදී සහය ලබා දෙන්න. “ඔයා බය වෙන්න එපා, ඔයා විභාගය පාස් වෙනවා කියලා මට විශ්වාසයි” වැනි දේ කියමින් ධෛර්යමත් කරන්න.

හැඩගැසෙන්න : ආදර සබදතාවල ස්වභාවය කාලයත් සමඟ වෙනස් වනවා. උදාහරණයක් වශෙයන් ඔබේ සහකරු/සහකාරිය වෙනත් පාසලකට යනවා නම් දෙදෙනාට එක්ව ගත කිරීමට තිබෙන කාලය අඩු වෙනවා. එක්ව ගත කරන සුළු කාලය සතුටින් ගත කිරීමට උත්සහ ගන්න.

සබඳතාවයක් අහිතකර වන්නේ කුමක් නිසා ද?

ශාරීරික, චිත්තවේගීය හෝ ලිංගික අපයෝජනය අහිතකර සබඳතාවයක දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණයක්. ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය, එය වාචික, ශාරීරික, මූල්‍යමය හෝ චිත්තවේගීය හෝ වේවා, එය කිසිසේත්ම පිළිගත නොහැකි බව මුළින්ම අපි මතක තබා ගත යුතුයි.

යහපත් සන්නිවේදනයක් නොමැතිකම එවැනි සම්බන්ධතාවයක ලක්ෂණයක්.  අයහපත් සම්බන්ධතාවයකදී සහකරුවන්/ සහකාරියන් ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව විදවන අතර ඔවුන්ව හෑල්ලුවට ලක් කිරීම, විවිධ නම්  කීම හෝ ඔවුන්ගේ සීමා මායිම් නොසැලකීම වැනි අගෞරවනීය හැසිරීම් තිබෙනවා.

පාලනය සහ හැසිරවීම අහිතකර සබඳතාවයක තවත් ලක්ෂණයක්. සහකරුවන්ගේ/ සහකාරීයන්ගේ සමාජ සබඳතාවන් හෝ ඔවුන්ගේ තීරණ පාලනය කිරීමට උත්සාහ කරනවා. පුද්ගලික නිදහසට බාධා කරනවා. මිතුරන් සහ පවුලේ අයගෙන් හුදකලා කිරීමට තැත් කිරීම එයට උදාහරණයක්. ඊර්ෂ්‍යාව සහ සහකරුවා/ සහකාරිය තමන්ට අයත් වස්තුවක් (බඩුවක්)  ලෙස සැලකීම ද අහිතකර සම්බන්ධතාවයක ලක්ෂණයක්.

ඔබව පහත් කරන, ඔබට ලැජ්ජා සිතෙන හෝ බිය ගෙන දෙන ලෙස සහකරු හෝ සහකාරිය හැසිරෙනවානම් එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි.

ඔබේ මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත් කිරීමට ඔබේ සහකරුවා හෝ සහකාරිය උත්සහ ගන්නේ නම්  ඒ ගැන දෙසැරයක් හිතන්න.

ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන්  වහාම ඉවත් වන්න. අවශ්‍ය නම්  විශ්වසනීය වැඩිහිටියෙකු  සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.

සබඳතාවයක් අවසන් කරන්නේ කෙසේ ද?

සබඳතාවයක් අවසන් කිරීම අසීරු සහ අභියෝගාත්මක තීරණයක්. ඔබට සම්බන්ධතාවයක් අවසන් කිරීමට අවශ්‍ය නම් එය පැහැදිළිව ප්‍රකාශ කිරීම ඉතාම වැදගත්.

සම්බන්ධතාවය අවසන් කිරීමේදී දෙදෙනාටම ඇති වන වේදනාව, දුක, හුදලකාව වැනි හැගීම් අවම කර ගැනීම සදහා පහතින් දැක්වෙන දේවල් අනුගමනය කළ හැකියි.

  1. සම්බන්ධතාවය අවසන් කිරීමට හේතු පිළිබඳව අවංක වන්න.

 උදාහරණ – “මම වෙන කෙනෙක්ට ආදරෙයි” “මට තනියම ඉන්න ඕනේ” “ගෙදරින් කැමති නැති නිසා මට සම්බන්ධය නවත්තන්න ඕනේ”

  1. ඔබේ සහකරුගේ/ සහකාරියගේ හැඟීම් ගැන සහකම්පනය සහ සංවේදීතාව පෙන්වන්න.

උදාහරණ – “ඔයා මට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා” “ඔයාට දුකයි කියලා මම දන්නවා” “ඔයාගේ හුගාක් හොද ගතිගුණ තියෙනවා”

  1. දොස් තැබීම් සහ චෝදනාවලින් වළකින්න. ඔබේ සහකරුට දොස් පවරනවාට වඩා ඔබට හැඟෙන ආකාරය පැහැදිළිව ප්‍රකාශ කරන්න.

සහකරුගෙන් එල්ල වන හිංසනය නිසා වෙන් වීමට තීරණය කර තිබෙනවා නම් නම් කතා කර කර ඉදීම අවශ්‍ය වන්නේ නැහැ. හැකි ඉක්මනින් ඔබට ආරක්ෂිත ස්ථානයකට යන්න. විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහය ලබා ගන්න.

 

ආදර සබඳතාවක දී ලිංගිකව ක්‍රියාකාරී වීම

නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා  ඇතිවීම මෙන්ම ලිංගික හැගීම් ඇතිවීමද ස්වභාවිකයි.

ලිංගික ඇසුරක් සදහා දෙදෙනාගේම කැමැත්ත තිබීම අනිවාර්යයි. කැමැත්ත නැතිව සිදු වනවානම් එය ලිංගික අතවරයක්.

කැමැත්ත බලෙන් ලබා ගන්න බැහැ. නිදා සිටින, සිහි නැතිව සිටින හෝ මත් වී සිටින කෙනෙකුගෙන් කැමැත්ත ලබා ගන්න බැහැ. ඒ වගේම අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක්ටත් ලිංගික ඇසුරකට කැමැත්ත ලබා දෙන්න බැහැ.

සිප ගැනීම, පියයුරු අත ගෑම, කළවා සංසර්ගය, යෝනි සංසර්ගය, ගුද හෝ මුඛ සංසර්ල වැනි ඕනෑම ලිංගික ඇසුරකට පෙර කැමැත්ත ලබා ගත යුතු වනවා.

ලිංගික හැගීම් ලිංගික හැසීරීම් දක්වා  ගෙන යනවානම්, එය  අපි ආරක්ෂිතව සහ වගකීම් සහගතව සිදු කළ යුතු වෙනවා.

අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වගේම මානසික පීඩනයක්ද ඇති වන්න පුළුවන්. එවැනි සිදුවීමකට ඔබ මුහුණ දෙනවානම්, ඉක්මණින්ම  විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කර සහය ලබා ගන්න.

ආරක්ෂිත ලිංගික හැසිරීමක් යනුවෙන් හැදින්විය හැක්කේ  දෙදෙනා  අතර අනෝන්‍ය අවබෝධයකින් සහ කැමැත්ත ඇතිව සිදුවන, අනවශ්‍ය ගැබ් ගැනීමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් සදහා  ඉඩක් නැති,  කායික සහ මානසික බැදීමක්.

ආදරය, විශ්වාසය ඔප්පු කිරීමට ලිංගිකව හැසිරීම අනිවාර්ය වන්නේ නැහැ.  ලිංගික හැසිරීමක් ප්‍රතික්ෂේප කිරීමට නව යොවුන් ප්‍රජාවට බොහෝ හේතු තිබෙන්නට පුළුවන්.

පහතින් දැක්වෙන්නේ එවැනි හේතු කිහිපයක්.

  • ලිංගික සබඳතා පැවැත්වීම ඔවුන්ගේ ජීවිතයෙහි ප්‍රමුඛතාවයක් (priority) නොවන බැවින් ලිංගික සබඳතාවක යෙදීමට තමන් ළාබාල වැඩියැයි සිතන නිසා.
  • ලිංගික සබඳතාවක් පැවැත්වීමෙන් ආදර සම්බන්ධතාවක තිබිය යුතු ගෞරවය නැති වේ යැයි සිතන නිසා.
  • අපහසු හැඟීමක් ඇති වන නිසා.
  • ගැබ් ගැනීමක් සිදුවේ යැයි බිය නිසා.
  • එච්.අයි.වී. හෝ  ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් ආසාදනයක් වැළඳේයැයි බිය නිසා.
  • සමාජ තත්ත්වයට හානි වේයැයි සිතන නිසා.
  • ලිංගික සබඳතා පැවැත්වීමට විවාහ වන තෙක් සිටින්නැයි ඔවුන්ගේ ආගම, දෙමාපියන් හෝ ප්‍රජාව විසින් ඔවුන්ට බල කරන නිසා.
  • ගැබ් ගැනීමක් හෝ  ලිංගිකව බෝ වන ආසාදන වළක්වා ගැනීම සඳහා ඇති සේවාවන් ලබා ගැනීමට අපහසු යැයි සිතන නිසා.
  • තමන් ලිංගික ඇසුරකට සූදානම් නොමැති නිසා.

අපේ සිරුරේ විශාලතම මෙන්ම වඩාත්ම ප්‍රබල ලිංගික අවයවය මොළයයි. නව යොවුන් වියේදී ලිංගික අත්දැකීම් ලැබීම සාමාන්‍ය දෙයක්  වුවත්  ඉන් අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බව සහ ඒවා මගහරවාගත හැකි ආකාර පිළිබද දැන සිටීම වැදගත් වනවා.

 

ලිංගික ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිවිපාක කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • HIV  සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැලදීමේ අවදානම.
  • අනවශ්‍ය ගැබැගැනීම්.
  • තමා වරදක් කළා යැයි හැගීම නිසා ඇතිවන මාසික පීඩනය.
  • තමන්ගේ ලිංගික දර්ශන ලීක් වීම.

 

ලිංගික ක්‍රියාකාරකම් හැකිතාක් ආරක්ෂිතව සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ආරක්ෂිත ලිංගික ඇසැර පිළිබද කියවීමට ලිංගික සෞඛ්‍ය ගැන දැනගනිමු පිටුවට පිවිසෙන්න. 

ආදර සම්බන්ධතාවයක් නිසා ඔබේ සිතට වේදනාවක්, කණස්සල්ලක් ඇති වී ඇත් නම් ඒ පිළිබද විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න.

 

Welcome to your ආහාර හා ජීවන රටා

1. සහකරු/ සහකාරියගේ යන එන තැන් පාලනය කිරීම අහිතකර සම්බන්ධතාවයක ලක්ෂණකි.

2. ආදරය සහ විශ්වාසය ඔප්පු කිරීමට ලිංගික ඇසුරේ අනිවාර්ය වන්නේ නැහැ

3. යහපත් ආදාර සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට තමන් කැමති දේවල් වගේම තමන් අකමැති දේවල් ගැනද කතා කිරීම වැදගත් වනවා.

4. ආදර සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යාම සදහා ඉඟියක් නොවන්නේ?

5. ආරක්ෂිත ලිංගික හැසිරීමක් යනුවෙන් හදුන්වන්නේ?

 

Call Us - (+94) 768797530