හිරිහැර, දාමරිකකම් හා ප්‍රචණ්ඩත්වය වළකමු

යම්කෙනෙක් විසින් තවකෙකුට නින්දා කිරීම, බියගැන්වීම හෝ ආධිපත්‍යයක් තහවුරු කරගැනීම, එසේත් නැතහොත් එවැන්නක් කරන බවට තර්ජනයක් කිරීම ‘හිරිහැර’ කිරීම යනුවෙන් හඳුන්වන්නට පුළුවන්. මෙය ස්වරූප තුනකින් සිදුවෙන්නට ඉඩ තිබෙනවා.

1. කායිකව සිදු කරන හිරිහැර සහ දාමරිකකම්

2. වාචිකව සිදු කරන හිරිහැර සහ දාමරිකකම්

3. මානසික එනම් හැඟීම් නැත්නම් සිතැඟි කැළඹීමෙන් සිදු කරන හිරිහැර සහ දාමරිකකම්

හිරිහැර හා දාමරිකකම් මුහුණුට මුහුණ හෝ සයිබර් අවකාශය තුළ සිදු විය හැකියි.

හිරිහැර කිරීම හුදෙක් කේන්තිය හෝ කෝපය පිටකිරීමක් නොවේ.

එය වෙනකෙකුව රිදවීමේ චේතනාවෙන් හිතාමතා සිදුකරන හෝ කියන දෙයක්. ඇතැම්විට හිරිහැර කිරීම් පෙර සැලසුමක් ඇතිව සිදුවිය හැකියි. ඒ නිසා හිරිහැරකිරීම, දබරයකින් හෝ රණ්ඩුවකින් වෙන්කර හඳුනාගැනීමට පුළුවන්.

හිරිහැර හා දාමරිකකම්, ඕනෑම ස්ථානයකදී සිදුවිය හැකියි.

නිවස, පාසැල, වැඩපොළ, රෝහල මෙන්ම මහමග – මේ කිසිම තැනක් හිරිහැර හා දාමරිකම් වලින් නිදහස් නෑ.

මේ තැන් වලදී ඔබ දන්නා හඳුනන කෙනෙකුට හිරිහැරයක් සිදු වූ අවස්ථාවක් ඔබේ සිතට නැගෙනවාද?

හිරිහැර සහ දාමරිකකම් හදුනා ගන්නේ කෙසේද?

1. අසමාන බලය

හිරිහැර කරන්නා හා හිරිහැරයට ලක්වන්නා අතර අසමතුලිත බල සම්බන්ධයක් පැවතීම, හිරිහැර කිරීමකට ආවේණීක වන ලක්ෂණයකි.

එනම්, හිරිහැර පමුණුවන්නා වයසින්, ශරීර ශක්තියෙන් එසේත් නැත්නම් සමාජ තරාතිරමෙන් අනෙකාට වඩා ඉදිරියෙන් සිටීමයි. එය අසමාන බල සම්බන්ධයක් ලෙස හැදින්වෙනවා.

2. නැවත නැවත සිදුවීම

හිරිහැර හා දාමරිකම් සිදු කරන්නේ වැඩි බලයක් ඇති පුදගලයකු නිසා, එක් වරකට වඩා එය සිදු වීමට බෙහෝ විට ඉඩ තිබෙනවා.

උදාහරණයක් ලෙස, අද දිවා ආහාරය පැහැර ගැනීමට පුළුවන්, හෙට පාසල් බෑගයට ගල් කැට පුරවා බර වැඩි කිරීමට පුළුවන්. මේ විදියට, එක් කෙනෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන හිරිහැර හා දාමරිකකම් නැවත නැවත සිදු වනවා.

හිරිහැර හා දාමරිකම් වලට උදාහරණ මොනවාද?

හිරිහැර හා දාමරිකම් ලැයිස්තුවක් සාදා නිම කළ නොහැකියි.

කෙනෙක් ගැන කටකතා පැතිරවීම වැනි සියුම් ආකාරයේ හිරිහැර කිරීමක සිට කෙනෙක්ට ශාරීරික හිංසා පැමිණවීම දක්වා පුළුල් පරාසයක ඒවා විහිදෙනවා.

උදාහරණ –

කෙනෙකුගේ ශරීරය පිළිබද ඍණාත්මක දේ පැවසීම

පියයුරු වැනි පෞද්ගලික අවයව පදනම් කරගෙන ලැජාජාවට පත් කිරීම

ශරීර ප්‍රමාණය, සමේ පැහැය ආදිය පදනම් කරගෙන නම් කීම

සිතා මතා ඇගේ හැප්පීම

කෑම පැහැර ගැනීම

පහර දීම

කතා නොකර හුදකලා කිරීම

දෙමාපියන්ගේ ලිංගිකත්වය පදනම් කරගෙන ලැජ්ජාවට පත් කිරීම

අබාධිත තත්ත්වයක් පදනම් කර ගෙන විහිළු කිරීම

වතුර බෝතලය, පැන්සල් පෙට්ටය වැනි දේ පැහැර ගැනීම

සමාජ මාධ්‍ය හරහා නින්දා කිරීම

තවත් උදාහරණ ගැන ඔබට සිතන්නට පුළුවන්ද?

හිරිහැර සහ දාමරිකකම් මුල් අවධියේදීම නවතා දැමිය යුතුතේ ඇයි?

අප සියළු දෙනාටම හිරිහැර සහ දාමරිකම් වලින් නිදහස්ව ජීවත් වීමට අයිතියක් තිබෙනවා.

ඇතැම් විට මේ හිරිහැර සහ දාමරිකම් පිළිගත් සම්මතයක්  බවට වීමටත් ඉඩ තිබෙනවා. අළුතින් බැදෙන සාමාජිකයන්ට විවිධ හිරිහැර පැමිණවීමට සහ උසුළු විසුළු කිරීම හෙවත් නවන වදය ඒ සදහා එක උදාහරණයක්.

හිංසනය කිසිවිටකත් පිළිගත් ක්‍රියාවක් බවට පත් විය යුතු නැහැ. ඒ නිසා හිරිහැර සහ දාමරිකකම් මුල් අවධියේදීම නවතා දැමිය යුතුයි.

හිරිහැර සහ දාමරිකම් සිදු කරන්නේ කවුද?

හිරිහැර සහ දාමරිකකම් ඇතුළු ඕනෑම ප්‍රචණ්ඩක්‍රියාවක්, සිදු වන්නේ බලය පදනම් කර ගෙන වන නිසා බලය ඇති ඕනෑම කෙනෙකු අතින් හිරිහැර දාමරිකකම් සිදු වීමට ඉඩ තිබෙනවා.

ඊර්ෂ්‍යාව,

අමනාපය,

පක්ෂපාතකම,

යහළුවන්ගේ පිළිගැනීම දිනාගැනීමට

තමන් කෙරෙහි ඇති අවතක්සේරුව

ආත්මවිශ්වාසය හිඟවීම වැනි හේතූන් නිසා පුද්ගලයෙක් අන් අයට හිරිහැර කිරීමට පෙළඹිය හැකියි.

 ‘හිරිහැර පැමිණවීම’ ප්‍රචණ්ඩත්වයේ එක් ස්වරූපයක්.  කිසිම හේතුවක් යටතේ වත් එය  සාධාරණීයකරණය කිරීමට බැහැ.

ඔබ හිරිහැර හා දාමරිකකම් වලට මුහුණ දෙනවානම්, විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ ගැන පවසා සහය ලබා ගන්න. හිරිහැර හා දාමරිකම් නැවැත්වීමට නම්, ඒවා වාර්තා කිරීම අවශ්‍යමයි.

 

හිරිහැර හා දාමරිකම් නැවැත්වීමට මට කළ හැක්කේ මොනවාද?

හිරිහැර හා දාමරිකකම් වලට විරුද්ධ වීම.

හිරිහැර හා දාමරිකකම් වලට ලක් වන යහළුවන්ට ඉන් බේරීමට  උදවු කිරීම.

හිරිහැර හා දාමරිකම් වැළැක්වීම පිළිබද පෝස්ටරයක් නිර්මාණය කර පංති කාමරයේ ප්‍රදර්ශය කිරීම.

හිරිහැර හා දාමරිකම් වැළැක්වීම පිළිබද පාසලේ නාට්‍ය තරගයක් සංවිධානය කිරීම.

මෙහි ඇති වීඩියෝව ඔබේ යහළුවන් සමග බෙදා ගැනීම.