අනාගතය ගැන කතා කරන්න වැඩිහිටියෙක් වෙනකම් ඉන්න ඕනෑ නැහැ.
2025 නොවැම්බර් මාසයේදී දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාව පුරා දැඩි වැසි, ගංවතුර සහ නායයෑම් ඇති කළා. නිවාසවලට හානි වුණා. පවුල්වලට තමන්ගේ ගෙවල් හැර යන්න සිදු වුණා. පාසල් සහ අත්‍යවශ්‍ය සේවා පවා බිඳවැටුණා.
2026 අගෝස්තු මාසයේදී හිමාල කලාපයේ ග්ලැසියරයක් ආශ්‍රිතව ඇති වූ කඩාවැටීමක් නිසා නේපාලයේ ප්‍රදේශ ගණනාවක් හරහා ජලය, මඩ, ගල් සහ අයිස් ගලා ගියා. ගම්මාන විනාශ වුණා. දහස් ගණනක් දරුවන් සහ වැඩිහිටියන් මේ ව්‍යසනයෙන් පීඩාවට පත් වුණා.
එක් සුළි කුණාටුවක් හෝ ගංවතුරක් ඇති වුණේ දේශගුණික විපර්යාස නිසාමයි කියලා සරලව කියන්න බැහැ. අනාරක්ෂිත ඉදිකිරීම්, වනාන්තර විනාශය, අවහිර වූ කානු, අවිධිමත් සංවර්ධනය සහ දුර්වල පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති නිසාත් විපත් වඩාත් බරපතළ වෙන්න පුළුවන්.
ඒත් පෘථිවිය උණුසුම් වෙද්දී අධික උෂ්ණත්වය, දැඩි වැසි සහ කඳුකර හා ග්ලැසියර ප්‍රදේශවල අස්ථාවරත්වය වැනි අවදානම් වැඩි වන බව විද්‍යාඥයන් අපට අනතුරු අඟවනවා.
මේවා නොසලකා හරින්න පුළුවන් අමුතු කාලගුණික සිදුවීම් විතරක් නෙවෙයි. මේවා වැඩිවෙමින් තිබෙන දේශගුණික හදිසි තත්ත්වයක අනතුරු ඇඟවීම්.
ඔයාගේ ප්‍රදේශයේත් වෙනස්කම් දැකලා තියෙනවාද?
සමහර දවස් වෙනදාට වඩා උණුසුම් වගේ දැනෙනවා ඇති. ඔයාගේ ප්‍රදේශයට ගංවතුර, නියඟය, ජල හිඟය, නායයෑම් හෝ වගා හානි ඇති වෙලා ඇති. කානු අවහිර කරගෙන තියෙන ප්ලාස්ටික්, පාර අයිනේ පුළුස්සන කුණු හෝ දූෂණය වූ වැවක් දැකලා ඇති. අලි සහ මිනිසුන් මියයන මිනිස්–අලි ගැටුම් ගැනත් අහලා ඇති.
මේවා එකිනෙකට සම්බන්ධ නැති ගැටලු වගේ පෙනෙන්න පුළුවන්. නමුත් අපි භූමිය, ජලය, බලශක්තිය සහ ස්වභාවික සම්පත් භාවිත කරන විදිහත් එක්ක මේ ගැටලු බොහොමයක් සම්බන්ධයි.
අපට දේශගුණික ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.
දේශගුණික විපර්යාස කියන්නේ මොකක්ද?
පෘථිවිය වටා ස්වභාවික වායු ආවරණයක් තියෙනවා. එය යම් තාප ප්‍රමාණයක් රඳවාගෙන, ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් තරමට පෘථිවිය උණුසුම්ව තබනවා.
නමුත් ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් දහනය කරන විට, තාපය රඳවාගන්නා වායු එනම් කාබන් ඩයොක්සයිඩ්, නියිට්‍රෝස් ඔක්සියඩ්, මීතේන් වැනි වායු ඕනෑවට වඩා වායුගෝලයට එකතු වෙනවා.
වනාන්තර විනාශ කිරීම සහ ස්වභාවික පරිසර පද්ධතිවලට හානි කිරීම නිසා කාබනඩයොක්සයිඩ් උරා ගැනීමට ස්වභාවිකව තියෙන ක්‍රියාවලියත් අඩපණ වෙනවා. වැඩි තාපයක් වායුගෝලයේ රැඳෙන විට පෘථිවිය උණුසුම් වෙනවා. එවිට කාලගුණ රටාත් වෙනස් වෙන්න පටන්ගන්නවා.
ඒ නිසා, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අපට නතර කර ගත නොහැකි තැනට අද පත් වී තිබෙනවා.
දේශගුණික විපර්යාස නිසා:
- අධික උණුසුම
- හිතාගන්න බැරි විදිහට වෙනස් වන වැසි රටා
- ගංවතුර සහ නායයෑම්
- දිගු නියඟ සහ ජල හිඟය
- වඩාත් හානිකර සුළි කුණාටු
- වගා හානි සහ ආහාර හිඟය
- මුහුදු මට්ටම ඉහළ යෑම
- වනාන්තර, ගංගා, සාගර සහ වනජීවීන්ට හානි වීම
- සෞඛ්‍ය අවදානම් වැඩිවීම වැනි දේ සිදුවෙන්න පුළුවන්.
දේශගුණික විපර්යාස කියන්නේ හැම දවසක්ම උණුසුම් වෙනවා කියන එක විතරක් නෙවෙයි. එයින් අදහස් වෙන්නේ අපේ දේශගුණය අස්ථාවර වීම සහ සමහර දරුණු කාලගුණික සිදුවීම් වැඩිවීමයි.
දේශගුණික විපර්යාස අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?
දේශගුණික අර්බුදය කියන්නේ ගංවතුරක්, නියඟයක් හෝ කුණාටුවක් ඇතිවන මොහොත පමණක් නොවේ. උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම, වාතය සහ ජලය දූෂණය වීම, ආහාර හිඟය සහ කාලගුණ රටා වෙනස් වීම අපේ සෞඛ්‍යයට දිගුකාලීනව බලපානවා.
අධික උණුසුමට නිතර නිරාවරණය වීමෙන් විජලනය, අධික වෙහෙස, හිසරදය සහ වකුගඩු ආශ්‍රිත ගැටලු ඇතිවිය හැකියි. වායු දූෂණය හේතුවෙන් ඇදුම සහ වෙනත් ශ්වසන රෝග ඇතිවීමේ හෝ වැඩිවීමේ අවදානම තිබෙනවා. මදුරුවන් වැනි රෝග වාහකයන් බෝවන තැන් වැඩි වීම නිසා ඩෙංගු වැනි රෝග වැඩි ප්‍රදේශවලට සහ වැඩි කාලයක් පැතිරෙන්නත් පුළුවන්.
නියඟය, ගංවතුර සහ වගා හානි නිසා පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට අපහසු වීමට පුළුවන්. ඒ වාගේම එළවළු පළතුරු වන මිල ඉහල යනවා. පේෂ්‍යදායී ආහාර ලබා ගැනීමට නොහැකි වීම නිසා එය, දරුවන්ගේ සහ නව යොවුන් දරුවන්ගේ ශාරීරික වර්ධනයට, මොළයේ වර්ධනයට, ඉගෙනීමට සහ රෝගවලට මුහුණදීමේ හැකියාවට බලපාන්න පුළුවන්.
දේශගුණික වෙනස්කම් ගැන ඇතිවන බිය, නිවස හෝ ජීවනෝපාය නැවත නැවත අහිමි වීම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව මානසික සෞඛ්‍යයටත් දිගුකාලීන බලපෑම් ඇති කළ හැකියි.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට ඇති බලපෑම
දේශගුණික අර්බුදය අපේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයටත් කෙටි කාලීනව සහ දිගුකාලීනව බලපානවා.
අධික උණුසුම සහ පෝෂණ ඌනතා ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති කරන බව විද්‍යාඥන් පෙන්වා දෙනවා.
ජල හිඟය, ආරක්ෂිත වැසිකිළි නොමැති වීම සහ ඔසප් නිෂ්පාදන මිල ඉහළ යාම නිසා ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව නිසි ලෙස පවත්වාගැනීම ගැහැණු දරුවන්ට විශාල අභියෝගයක් වනවා.
අධික උණුසුම ගර්භණී පුද්ගලයන්ට සහ කළලයට වැඩි සෞඛ්‍ය අවදානම් ඇති කරන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා. ඒ වාගේම ප්ලාස්ටික් දූෂණය නිසා අපගේ ප්‍රජනනයට සම්බන්ධ අවයව වල මයික්‍රෝ ප්ලාස්ටික් ඇතුළු වී තිබෙන බව ලොව පුරා විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා.
ගංවතුර, නියඟය සහ අවතැන් වීම නිසා සායනවලට යාම බාධා වීමෙන් පරීක්ෂණ හා ප්‍රතිකාර, සහ ගර්භණී සත්කාර අඛණ්ඩව ලබාගැනීමට බාධා එල්ල විය හැකියි. මේ තත්ත්වය දිත්වා සුළි කුණාටුව අතරතුර අපි අත් දුටුවා.
ආදායම් සහ පාසල් අධ්‍යාපනය අහිමි වීම නිසා සමහර නව යොවුන් දරුවන්ට අඩු වයසින් විවාහ වීමට සිදු විය හැකියි, ඒ හරහා අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගික සූරාකෑම සහ ප්‍රචණ්ඩත්වය වැනි අවදානම් ඉහළ යාමට අවස්ථාව ඉහල යනවා.
ඒ නිසා දේශගුණික ක්‍රියාමාර්ග කියන්නේ ගස් සිටුවීම සහ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම පමණක් නොවේ. පිරිසිදු ජලය, පෝෂ්‍යදායී ආහාර, ආරක්ෂිත වැසිකිළි, ඔසප් සෞඛ්‍ය පහසුකම් සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සෑම කෙනෙකුටම අඛණ්ඩව ලබාදීමත් එහි කොටසක්.
අපේ පරිසරය රැකගැනීම කියන්නේ අද ඇතිවන ආපදාවකින් පමණක් නොව, අපේ ශරීරය, සෞඛ්‍යය සහ අනාගත පරපුරත් දිගුකාලීනව ආරක්ෂා කිරීමයි.
ශ්‍රී ලංකාවේ දේශගුණික හදිසි තත්ත්වය අපට පෙනෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට දේශගුණික හදිසි තත්ත්වය කියන්නේ ඈත රටක සිදුවන දෙයක් නෙවෙයි.
දිගු නියඟයකින් ගමකට අවශ්‍ය ජලය නැති වෙන්න පුළුවන්. දැඩි වැසි නිසා ගෙවල් යට වෙලා, පාසල් වැහිලා, පොත් සහ නිල ඇඳුම් විනාශ වෙන්න පුළුවන්. නායයෑම් නිසා පවුල්වලට තමන්ගේ ගෙවල් අත්හැරලා යන්න සිදු වෙන්න පුළුවන්.
වැස්ස කලින්, පරක්කු වෙලා හෝ එකවර ඇදහැළුණොත් ගොවියෙකුගේ සම්පූර්ණ අස්වැන්නම විනාශ වෙන්න පුළුවන්. මුහුදේ සහ කාලගුණයේ වෙනස්කම් හිතාගන්න බැරි වූ විට ධීවරයන්ට තමන්ගේ ජීවිත අවදානමට දාලා රැකියාව කරන්න සිදු වෙනවා.
2001 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අහිමි වූ ගස් ප්‍රමාණයන් 96%ක්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වී ඇති බව පෙනෙනනවා. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ වනාන්තර ඉඩම් ස්ථිර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගැනීමයි. මෙයාන් පමණක් ගස් හෙක්ටයාර 220,000ක් පමණ අහිමි වී තිබෙනවා. ජනාවාස හා යටිතල පහසුකම් ඉදිකිරීම, දැව කැපීම සහ පතල් කැණීම වැනි කටයුතුත් මේ විනාශයට දායක වී තිබෙනවා. මෙයින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ කැළෑ අහිමි වීම බොහෝ දුරට ස්වාභාවික හේතු නිසා නොව, අප ඉඩම් භාවිත කරන ආකාරය නිසා සිදුවන බවයි.
මේ බලපෑම් හැමෝටම එකම විදිහට දැනෙන්නේ නැහැ.
අඩු ආදායම් ලබන පවුල්වලට විපතකට සූදානම් වෙන්න, ආරක්ෂිත තැනකට යන්න හෝ විපතෙන් පස්සේ නැවත ජීවිතය ගොඩනගාගන්න තියෙන සම්පත් අඩුයි. ගැහැණු ළමයින්, ආබාධ සහිත දරුවන් සහ ග්‍රාමීය, වෙරළබඩ, වතු හෝ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ට තවත් ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්.
උදාහරණයක් ලෙස, ගංවතුරකින් පස්සේ හෝ අවතැන් වූ විට ගැහැණු ළමයින්ට පිරිසිදු ජලය, පෞද්ගලිකත්වය ඇති වැසිකිළි සහ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන ලබාගැනීම අපහසු වෙන්න පුළුවන්. ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ අන් අය රැකබලාගැනීමේ වැඩත් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මත වැඩිපුර පැටවෙන්න පුළුවන්.
දේශගුණික ක්‍රියාකාරීත්වය සාධාරණ වෙන්න ඕනෑ කියන්නේ ඒ නිසයි.
පැරිස් ගිවිසුම කියන්නේ මොකක්ද?
2015 වසරේදී ලෝකයේ රටවල් ප්‍රංශයේ පැරිස් නුවරට එකතු වෙලා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කරගත්තා. එය පැරිස් ගිවිසුම ලෙස හඳුන්වනවා.
එහි ප්‍රධාන අරමුණ වෙන්නේ කාර්මික සංවර්ධනයට පෙර තිබූ මට්ටමට සාපේක්ෂව පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 2ට වඩා අඩු මට්ටමක තබාගැනීමයි. හැකි තරම් එය සෙල්සියස් අංශක 1.5කට සීමා කරන්නත් රටවල් උත්සාහ කරන්න ඕනෑ.
අංශක එකක් හෝ දෙකක් කියන්නේ ලොකු දෙයක් නොවෙයි වගේ පෙනෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ එක නගරයක හෝ එක දවසක උෂ්ණත්වය ගැන නෙවෙයි. මුළු පෘථිවියේම සාමාන්‍ය උෂ්ණත්වය ගැනයි.
එහි සුළු වැඩිවීමක් වුණත් වැසි රටා, සාගර, අයිස් කඳු, ආහාර නිෂ්පාදනය, පරිසර පද්ධති සහ මිනිස් සෞඛ්‍යය කෙරෙහි බරපතළ බලපෑමක් ඇති කරන්න පුළුවන්.
පැරිස් ගිවිසුම යටතේ රටවල්:
1. පෘථිවිය උණුසුම් කරන හරිතාගාර වායු අඩු කරන්න
2. දැනටමත් සිදුවන දේශගුණික බලපෑම්වලට සූදානම් වෙන්න
3. දේශගුණික අවදානම්වලින් ජනතාව සහ ප්‍රජාවන් ආරක්ෂා කරන්න
4. දේශගුණික ක්‍රියාකාරීත්වයට මුදල්, දැනුම සහ තාක්ෂණය අවශ්‍ය රටවලට සහාය ලබාදෙන්න
5. තමන්ගේ ජාතික දේශගුණික සැලසුම් ඉදිරිපත් කර ඒවා නිතර ශක්තිමත් කරන්න එකඟ වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවත් දේශගුණික පොරොන්දු ලබාදීලා තියෙනවා. ඒ නිසා ඔබ වගේ දරුවන්ට මෙහෙම අහන්න අයිතියක් තියෙනවා:
- ශ්‍රී ලංකාව ලබාදී ඇති පොරොන්දු මොනවාද?
- රජය ඒවා ඉටු කරනවාද?
- දේශගුණික ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් මුදලක් වෙන් කරනවාද?
- ග්‍රාමීය ප්‍රජාවන්ගේ අදහස් අහනවාද?
- ගංවතුර, උණුසුම සහ වෙනත් විපත්වලට පාසල් සූදානම් කරනවාද?
- දේශගුණික තීරණ ගැනීමේදී තරුණයන්ව ඇත්තටම සම්බන්ධ කරගන්නවාද?
පැරිස් ගිවිසුම ලෝකයට එකට ගමන් කළ යුතු දිශාවක් පෙන්වනවා. ඒත් තවමත් රටවල් ප්‍රමාණවත් වේගයකින් පරිසර දූෂණය අඩු කරන්නේ නැහැ.
ලෝකයේ ප්‍රධාන දේශගුණික අවශ්‍යතා කිහිපයක් පැහැදිලිව මෙසේ දක්වන්න පුළූවන්.
1. උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීම
රජයන් හරිතාගාර වායු විමෝචනය වඩාත් වේගයෙන් අඩු කළ යුතුයි.
ලෝකයේ වැඩිම පරිසර දූෂණය ඇති කරන්නේ ෆොසිල ඉන්දන කර්මාන්තයයි. උදාහරණයක්ස ලෙස වුදි අරම්කෝ, කෝල් ඉන්දියා, සීඑචිඑන් චයිනා එනර්ජි වැනි රජයන් විසින් පවත්වා ගෙන යන කර්මාන්ත පෙන්වා දෙන්න පුළුවන්. මොවුන් සෑම වසරකම කාබනඩයොක්සයිඩ් ටොන් බිලියන ගණනක් අපේ වායු ගෝලයට එක් කරනවා.
2. ගල් අඟුරු, තෙල් සහ ගෑස් භාවිතයෙන් ඉවත් වීම
ලෝකය ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් මත රඳා සිටීම අඩු කරලා සූර්ය සහ සුළං බලය වැනි පිරිසිදු බලශක්ති ක්‍රම වැඩි කරන්න අවශ්‍යයි.
මේ වෙනස සාධාරණව සිදු විය යුතුයි. බලවත් සමාගම් දිගටම ලාභ ලබන අතර කම්කරුවන් සහ අඩු ආදායම් ලබන පවුල් තවත් දුප්පත් කරන විසඳුම් සාධාරණ වන්නේ නැහැ.
3. ස්වභාවධර්මය ආරක්ෂා කර නැවත ගොඩනැගීම
වනාන්තර, තෙත්බිම්, කඩොලාන, ගංගා, සාගර සහ සෞඛ්‍ය සම්පන්න පස අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒවා ජලය ලබාදෙනවා, කාබන් රඳවාගන්නවා, විපත් අවම කරනවා සහ වනජීවීන්ට ජීවත් වෙන්න ඉඩ ලබාදෙනවා.
2030 වන විට ලෝකයේ භූමිය, අභ්‍යන්තර ජල ප්‍රදේශ සහ සාගරවලින් අවම වශයෙන් 30%ක් ආරක්ෂා කිරීමත්, හානි වූ පරිසර පද්ධතිවලින් අවම වශයෙන් 30%ක් නැවත යථා තත්ත්වයට පත් කිරීමත් ලෝකයේ ජෛව විවිධත්ව ඉලක්ක අතර තියෙනවා.
නමුත් ස්වභාවධර්මය ආරක්ෂා කිරීම කියලා එහි ජීවත් වන ප්‍රජාවන්ව බලෙන් ඉවත් කිරීම සාධාරණ නැහැ. ඒ තීරණ වලදී ජනතාවගේ අදහස් ලබා ගැනීම වැදගත් වන්නේ ඒ නිසායි.
4. දැනටමත් සිදුවන වෙනස්කම්වලට සූදානම් වීම
දේශගුණික බලපෑම් සමහරක් දැනටමත් අප අතරට ඇවිත්.
උණුසුම, ගංවතුර, නියඟ, කුණාටු, නායයෑම්, ආහාර හිඟ සහ සෞඛ්‍ය අවදානම්වලට රටවල් සූදානම් විය යුතුයි.
මෙය දේශගුණික අනුවර්තනය ලෙස හඳුන්වනවා.
ඒ සඳහා:
- හොඳ කානු පද්ධති
- පූර්ව අනතුරු ඇඟවීම්
- දේශගුණික විපත්වලට ඔරොත්තු දෙන පාසල්
- ආරක්ෂිත ජල මූලාශ්‍ර
- අධික උණුසුමට මුහුණ දීමේ සැලසුම්
- දේශගුණික වෙනස්කම්වලට ගැළපෙන වගා ක්‍රම
- ආරක්ෂිත ඉවත් වීමේ මාර්ග
- සැමට ප්‍රවේශ විය හැකි හදිසි නවාතැන්
- විපත් අවස්ථාවල පෞද්ගලික වැසිකිළි, පිරිසිදු ජලය සහ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන අවශ්‍ය වෙනවා.
5. සිදු වූ පාඩු හා හානි වෙනුවෙන් වගකීම භාරගැනීම
සමහර පාඩු වළක්වන්න හෝ ඒවාට හැඩගැසෙන්න බැහැ.
නායයෑමකින් නිවසක් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන්න පුළුවන්. ගොවියෙකුට නැවත නැවතත් අස්වැන්න අහිමි වෙන්න පුළුවන්. මුහුදු මට්ටම ඉහළ යෑමෙන් වෙරළබඩ ප්‍රජාවකට තමන්ගේ භූමිය අහිමි වෙන්න පුළුවන්.
දේශගුණික විපර්යාස ඇති කිරීමට වැඩිම දායකත්වයක් ලබාදුන් රටවල් සහ සමාගම්, පීඩාවට පත් ප්‍රජාවන්ට නැවත ජීවිතය ගොඩනගාගන්න සහාය ලබාදිය යුතුයි. මෙය දේශගුණික පාඩු හා හානිවලට ප්‍රතිචාර දැක්වීම ලෙස හඳුන්වනවා.
6. දරුවන්ට සහ තරුණයන්ට සවන් දීම
අද ගන්නා තීරණවල ප්‍රතිඵල එක්ක ජීවත් වෙන්න වෙන්නේ තරුණ පරපුරටයි. ඒ නිසා දේශගුණික සැලසුම් ගැන ප්‍රශ්න කරන්න, විසඳුම් ඉදිරිපත් කරන්න සහ තීරණ ගැනීමේදී සැබෑ ලෙස සහභාගි වෙන්න ඔබ වැනි දරුවන්ට අවස්ථාව තිබිය යුතුයි.
උත්සවයකදී දරුවන්ට ගීතයක් ගායනා කරන්න, නර්තනයක් කරන්න හෝ පුවරුවක් අරගෙන ඉන්න කියන එක, ඔවුන්ට සවන් දීම නෙවෙයි.
තීරණ ගන්න කලින් ඔවුන්ගේ අදහස් අහන්න අවශ්‍යයි. ඒ අදහස් තීරණවලට ඇතුළත් කරන්නත් කිරීමත් අවශ්‍යයි.
දේශගුණික විපර්යාස සහ ප්ලාස්ටික් දූෂණය සම්බන්ධයි
ප්ලාස්ටික් දූෂණය සහ දේශගුණික විපර්යාස කියන්නේ එකම ගැටලුව නෙවෙයි. නමුත් ඒවා අතර සමීප සම්බන්ධයක් තියෙනවා.
බොහෝ ප්ලාස්ටික් නිපදවන්නේ ඛනිජ ඉන්ධන භාවිතයෙන්. ප්ලාස්ටික් නිෂ්පාදනය, ප්‍රවාහනය සහ දහනය කිරීමේදී හරිතාගාර වායු පිටවෙනවා. කානු, ගංගා සහ සාගරවලට එකතු වන ප්ලාස්ටික් සතුන්ට හානි කරන අතර ස්වභාවික පරිසර පද්ධතිත් විනාශ කරනවා.
2016දී නිකුත් වූ වාර්තාවක් අනතුරු ඇඟවූයේ, අපි මේ විදිහටම ප්ලාස්ටික් නිෂ්පාදනය සහ ඉවත දැමීම දිගටම කළොත් 2050 වන විට සාගරයේ මාළුන්ට වඩා ප්ලාස්ටික් තිබෙන්න පුළුවන් බවයි.
මෙයින් අදහස් වෙන්නේ 2050දී මාළු සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියන එක නෙවෙයි. එය සාගරයට එකතු වන අතිවිශාල ප්ලාස්ටික් ප්‍රමාණය ගැන කරන බරපතළ අනතුරු ඇඟවීමක්.
මෙයට විසඳුම දරුවන්ට ප්ලාස්ටික් බීම බටයක් භාවිත නොකරන්න හෝ නැවත භාවිත කළ හැකි බෝතලයක් රැගෙන යන්න කියන එකට පමණක් සීමා කරන්න බැහැ.
- අනවශ්‍ය ප්ලාස්ටික් නිෂ්පාදනය අඩු කිරීම
- හානිකර එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් සීමා කරීම
- ආරක්ෂිත නැවත භාවිත සහ නැවත පිරවීමේ ක්‍රම හඳුන්වා දීස
- තමන් නිපදවන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නිෂ්පාදකයන්ගේ වගවීම තහවුරු කිරීම
- සෑම ප්‍රජාවකටම නිසි කසළ එකතු කිරීමේ සේවාවක් ලබාදීම
- එළිමහනේ කුණු දැමීම සහ ප්ලාස්ටික් පිළිස්සීම නැවැත්වීම
- අපද්‍රව්‍ය ගංගාවලට සහ සාගරයට එකතු වීම වැළැක්වීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය වනවා.
- දරුවන්ට අපද්‍රව්‍ය අඩු කරන්න පුළුවන්. ඒත් ප්ලාස්ටික් කර්මාන්තය නිර්මාණය කළේ දරුවන් නෙවෙයි. වැඩිහිටියන්, ව්‍යාපාර සහ රජයන් තමන්ගේ වගකීම භාරගන්න අවශ්‍යයි.
ලොව වැඩිම ප්ලාස්ටික් දූෂණය සිදු කරන්නේ කොකා කෝලා, නෙස්ලේ සහ යුනිලීවර් යන කොම්පැණි තුනයි. මේ නිෂ්පාදන ඔබේ ගමේත්, පාසලේත් නිවසේත් ඇති. මේවා අපේ අනාගතයට විශාල ලෙස ඍණාත්මකව බලපානවා. උදාහණයක් ලෙස මව් කිරි වලත් කුඩා ප්ලාස්ටික් එනවා මයික්‍රෝ ප්ලාස්ටික් සොයා ගෙන තිබෙනවා.
මිනිස්–අලි ගැටුමත් මේකට සම්බන්ධද?
ශ්‍රී ලංකාවේ අලින්ට ජීවත් වෙන්න එකිනෙකට සම්බන්ධ වාසස්ථාන, ජලය, ආහාර සහ ආරක්ෂිත ගමන් මාර්ග අවශ්‍යයි. අලි වාසස්ථාන ආසන්නයේ ජීවත් වන ජනතාවටත් ආරක්ෂිත නිවාස, වගාබිම්, මාර්ග සහ ජීවනෝපාය අවශ්‍යයි.
වනාන්තර එළිපෙහෙළි කරන විට, අලින්ගේ ගමන් මාර්ග අවහිර කරන විට හෝ විශාල සංවර්ධන ව්‍යාපෘති ඔවුන්ගේ වාසස්ථාන තුළට ඇතුළු වන විට, ආහාර සහ ජලය සොයා අලි ගම්මාන සහ වගාබිම් හරහා ගමන් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී මින්නේරිය සහ වස්ගමුව ආශ්‍රිතව ජීවත් වන අල ඇතුන්ගේ මාර්ග සහ වාසස්ථාන වලට විශාල හානි සිදු වූ බව පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.
නියඟය, කසළ දැමීම සහ පරිසර විනාශය නිසා මේ තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵල මිනිසුන්ටත් අලින්ටත් බියජනක සහ මාරාන්තික වෙන්න පුළුවන්.
උදාහරණයක් ලෙස 2025 වසර තුළ මිනිස් ක්‍රියාකාරකම්වලන් පමණක් අලි ඇතුන් 204ක් මිය ගොස් තිබෙනවා.
මිනිස්–අලි ගැටුමට ග්‍රාමීය ජනතාවට දොස් පවරලා විසඳුමක් සොයන්න බැහැ. අලින්ව එක ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට පන්නලා විතරක් මේ ගැටලුව විසඳන්නත් බැහැ.
භූමි භාවිතය, වනාන්තර, වගා, මාර්ග, කසළ සහ සංවර්ධනය ගැන වැඩිහිටියන් සහ බලධාරීන් වඩා හොඳ තීරණ ගන්න ඕනෑ. අලි සමඟ ජීවත් වන ප්‍රජාවන්ගේ දැනුම, අත්දැකීම් සහ ආරක්ෂාවටත් සවන් දෙන්න ඕනෑ.
අලින්ව ආරක්ෂා කිරීම සහ මිනිසුන්ව ආරක්ෂා කිරීම එකිනෙකට විරුද්ධ තේරීම් දෙකක් නෙවෙයි. අපට දෙපාර්ශ්වයම ආරක්ෂා කරන විසඳුම් අවශ්‍යයි.
ඔබට මොනවාද කරන්න පුළුවන්?
ඔබ හැම දෙයක්ම එකවර කරන්න අවශ්‍ය නැහැ. පාසල, නිවස හෝ ප්‍රජාවට සම්බන්ධ එක දෙයකින් පටන්ගන්න.
අවට සිදුවන දේ බලන්න
දේශගුණික ක්‍රියාකාරීත්වය ප්‍රශ්නයකින් පටන්ගන්න පුළුවන්:
- අපේ කුණු යන්නේ කොහේද?
- අපේ ගෙවල් අසල ප්ලාස්ටික් පුළුස්සනවාද?
- වැවක්, ඇළක් හෝ දියපාරක් දූෂණය වෙනවාද?
- අපේ පාසලේ ප්‍රමාණවත් සෙවණ සහ පානීය ජලය තියෙනවාද?
- අවට ඉඩම් එළිපෙහෙළි කරන විට සතුන්ට මොකද වෙන්නේ?
- අපේ ප්‍රදේශය ගංවතුරට යට වුණොත් වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ කවුද?
- හදිසි නවාතැනක් හැම දරුවෙකුටම ආරක්ෂිතව භාවිත කරන්න පුළුවන්ද?
- විපතකදී ගැහැණු ළමයින්ට තමන්ගේ ඔසප් සනීපාරක්ෂාව ආරක්ෂිතව කළමනාකරණය කරගන්න පුළුවන්ද?
- කාලගුණය, ජලය, වගාව, වනජීවීන් හෝ වෙරළ තීරය කාලයත් සමඟ වෙනස් වී ඇති ආකාරය ගැන වැඩිහිටි අයගෙන් අහන්න. ඉගෙනගන්න දේ සටහන් කරගන්න.
දේශගුණික සිතියමක් හදන්න – අවසරය සහ වැඩිහිටි සහාය ඇතිව, ඔබගේ පාසලේ හෝ ගමේ පහත ස්ථාන සිතියමක සලකුණු කරන්න:
- ගංවතුර ඇතිවන තැන්
- කුණු දමන තැන්
- ප්ලාස්ටික් පුළුස්සන තැන්
- ජලය දූෂණය වන තැන්
- ගස් කපන ස්ථාන
- දැඩි උණුසුම ඇති ස්ථාන
- අවහිර වූ කානු
- වන සතුන් ගමන් කරන මාර්ග
- ජල හිඟය ඇති ස්ථාන
දිනය සටහන් කරලා, ආරක්ෂිත සහ සුදුසු අවස්ථාවල ඡායාරූප ගන්න.
යහළුවන් සහ ගුරුවරුන් සමඟ එකතු වී ඔබට:
- කුණු පිළිස්සීම නවත්වන්න
- පාසල් උත්සවවල එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් අඩු කරන්න
- දැනට තිබෙන ගස් ආරක්ෂා කරන්න
- වැඩි සෙවණ සහ පානීය ජල පහසුකම් ඉල්ලන්න
- වැසි සමයට කලින් කානු පරීක්ෂා කරන්න
- කසළ වෙන් කිරීම සහ එකතු කිරීම හොඳින් සංවිධානය කරන්න
- නිසි ලෙස පවත්වාගෙන යන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් පටන්ගන්න
- ගංවතුර, උණුසුම සහ වෙනත් විපත් සඳහා පාසල් සැලැස්මක් හදන්න
- ආබාධ සහිත සිසුන්ටත් එම සැලැස්ම භාවිත කරන්න පුළුවන් බව තහවුරු කරන්න
- ආපදා සැලසුම්වලට ඔසප් සෞඛ්‍යය, ජලය සහ පෞද්ගලිකත්වය පිලිබද වැඩි අවධානයක් ඇතුළත් කරන්න පුළුවන්.
ව්‍යාපෘතියක් පටන්ගන්න කලින් ඒක දිගටම පවත්වාගෙන යන්නේ කවුද කියලා අහන්න. කිසිවෙකු වතුර නොදමන වත්තක් හෝ කිසිවෙකු හිස් නොකරන කුණු බඳුනක් දිගුකාලීන වෙනසක් ඇති කරන්නේ නැහැ.
ප්‍රශ්න අහන්න—නැවතත් අහන්න
ඇළක් පිරිසිදු කරනවා, වනාන්තරයක් ආරක්ෂා කරනවා හෝ කසළ එකතු කිරීම හොඳ කරනවා කියලා බලධාරියෙකු පොරොන්දු වුණොත්, ඊළඟට සිදු වූ දේ අහන්න.
පන්තියේ යහළුවන් එක්ක ලිපියක් ලියන්න. පාසල හරහා සාකච්ඡාවක් ඉල්ලන්න. ප්‍රජා රැස්වීමකදී කතා කරන්න. ගැටලුවත් ඔයාට අවශ්‍ය විසඳුමත් පෙන්වන ප්‍රදර්ශනයක් හදන්න.
එක ප්‍රශ්නයක් නොසලකා හරින්න පුළුවන්. නමුත් තොරතුරු දන්න, එකට එකතු වූ තරුණ පිරිසක් දිගටම ප්‍රශ්න කරන විට බලධාරීන්ට නොසලකා හරින්න අමාරුයි.
වැඩිහිටියන්ගෙන් අපි ඉල්ලන්න ඕනෑ මොනවාද?
පාසලෙන් ඉල්ලමු
- පිරිසිදු පානීය ජලය, සෙවණ සහ හොඳ වාතාශ්‍රය
- පිරිසිදු, පෞද්ගලිකත්වය ඇති සහ සැමට භාවිත කළ හැකි වැසිකිළි
- කුණු පිළිස්සීම නැවැත්වීම
- එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් අඩු කිරීම
- ශ්‍රී ලාංකික උදාහරණ යොදාගෙන දේශගුණික විපර්යාස ඉගැන්වීම
- පරිසරය පිළිබඳ තීරණවලට සිසුන්ව සම්බන්ධ කරගන්න
පළාත් පාලන ආයතනවලින් ඉල්ලමු
- නිසි සහ සාධාරණ කසළ එකතු කිරීමේ සේවාවක්
- කුණු එළිමහනේ දැමීම සහ ප්ලාස්ටික් පිළිස්සීම නවත්වන්න
- වැව්, ඇළ මාර්ග, තෙත්බිම් සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න
- කානු නඩත්තු කර ගංවතුරට සූදානම් වෙන්න
- සංවර්ධන තීරණ ගන්න කලින් ප්‍රජාවන්ගේ අදහස් අහන්න
- සැලසුම්, වියදම් සහ ප්‍රගතිය ප්‍රසිද්ධ කරන්න
- පැමිණිලිවලට සැබෑ පිළිතුරු දෙන්න—කිසිම දෙයක් සිදු නොවන තවත් WhatsApp group එකක් විතරක් හදන්න එපා
රජයෙන් ඉල්ලමු
- පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව දුන් පොරොන්දු ඉටු කරන්න
- පිරිසිදු සහ ජනතාවට දැරිය හැකි බලශක්තියට ඉක්මනින් මාරු වෙන්න
- වඩා හොඳ, ආරක්ෂිත සහ සැමට ප්‍රවේශ විය හැකි පොදු ප්‍රවාහන සේවයක් ගෙඩනගන්න
- වනාන්තර, තෙත්බිම්, ගංගා සහ වනජීවී ගමන් මාර්ග ආරක්ෂා කරන්න
- මිනිස්–අලි ගැටුමට සාධාරණ සහ විද්‍යාත්මක විසඳුම් ලබාදෙන්න
- පරිසරය දූෂණය කරන ව්‍යාපාර සහ ආයතනවලට එරෙහිව ක්‍රියා කරන්න
- දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන පාසල් සහ රෝහල් ගොඩනගන්න
- දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් ගොවීන්ට, ධීවරයන්ට සහ කම්කරුවන්ට සහාය දෙන්න
- ස්ත්‍රීන්, දරුවන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන් ආරක්ෂා කරන ආපදා සැලසුම් සකස් කරන්න
- හදිසි නවාතැන්වල ජලය, පෞද්ගලික වැසිකිළි සහ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන වැඩිදියුණු කරන්න
- දේශගුණික තීරණවලට තරුණයන්ගේ සැබෑ සහභාගිත්වය ඇති කරන්න
- දේශගුණික වියදම්, සැලසුම් සහ ප්‍රතිඵල ගැන අවංක තොරතුරු ජනතාව සමග බෙදා ගන්න
අලි නැති අලි පා ගමන: එකතු වෙලා කරන දේශගුණික ක්‍රියාකාරීත්වයක්
අලි නැති අලි පා ගමන හෙවත් Elephant Free Elephant Walk ආරම්භ වුණේ ඉබ්බාගමුවේ දරුවන්, ස්ත්‍රීන්, පාසල් සහ ප්‍රජාවන්ට එකට එකතු වෙලා දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම, ප්ලාස්ටික් දූෂණය සහ මිනිස්–අලි ගැටුම ගැන කතා කරන්න අවකාශයක් හදන්නයි.
ඒ වෙනුවට දරුවන් සහ ප්‍රජාවන් විශාල අලි රූකඩ, අලි ලෙස සරසන ලද බයිසිකල්, ඇඳුම්, කලා නිර්මාණ, ඉදිරිපත් කිරීම් සහ පණිවිඩ භාවිත කරනවා. අලින්ව අල්ලාගෙන, පාලනය කරලා හෝ ඔවුන්ගෙන් ප්‍රයෝජන නොගෙන, ඔවුන්ව අපේ සංවාදයට එකතු කරගන්නවා.
දේශගුණික ක්‍රියාකාරීත්වය බරපතළ වගේම සතුටින් කරන්නත් පුළුවන් කියලා මේ පාගමන අපට පෙන්වනවා. විද්‍යාව, කලාව, දේශීය දැනුම සහ පොදු ක්‍රියාකාරීත්වය එකට ගෙන එන්නත් එයට පුළුවන්.