ඔසප් වීම කියන්නේ මොකද්ද?
ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ තිබෙන ඩිම්භ කෝෂ වලින් මේරූ ඩිම්භයක් පිටවී එය පැලෝපීය නාලය දිගේ ගර්භාෂය දෙසට පැමිණෙනවා. මෝරා ඇති ඩිම්භය මගින් ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ ඇති නිසා රුධිර වාහිනී වලින් පිරී ඇති ගර්භාෂයේ බිත්ති පටලය ඝණව වැඩෙනවා. මේ බිත්ති පටලය හදුන්වන්නේ එන්ඩෝමෙට්‍රියම නමින්.
ඩිම්භය සංසේචනය වුණේ නැතිනම් ගැබ් ගැනීමක් ඇති වන්නේ නැහැ. ඒ නිසා ඝනව වැඩුණු ගර්භාෂ බිත්ති පටලය ගර්භාෂයෙන් ගැලවී රුධිරය සමග දින 3-7ක් අතර කාලයක් තිස්සේ යෝනි මාර්ගය දිගේ ශරීරයෙන් බැහැර වෙනවා. ගර්භාෂ බිත්ති පටල කොටස් යෝනි මාර්ගයෙන් පිටවීම හදුන්වන්නේ ඔසප් වීම යනුවෙන්.
එක් ඔසප් වීමක් පටන් ගන්නා දිනයේ සිට ඊලග ඔසප් වීම දක්වා කාලය ඔසප් චක්‍රය ලෙස හදුන්වනවා. සාමාන්‍යයනේ ඔසප් චක්‍රය දින 21ත් 35ත් තරල කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනාටම සෑම මාසයකම ඔසප් වීම සිදු වන්නේ නැහැ.
ඔසප් වීම කියන්නේ ලැජ්ජා විය යුතු දෙයක් නෙමයි. සාමාන්‍යයෙන් ගැහුණු දරුවෙකු අවුරුදු 9ත් 14ත් අතර කාලය තුළ පළමු ඔසප් වීම අත් විදිනවා. එහිදී සිද්ධ වෙන්නේ, ගර්භාෂ බිත්තිය ගැලවිලා ලේ සමග යෝනි මාර්ගයෙන් එළියට එක එකයි. ඔසප් වීම කියන්නේ ජීව විද්‍යාතමක සිදුවීමක්.
- ඔසප් වෙන දවසට පෑඩ් එකක් ඇද ගෙන සාමාන්‍ය විදියට ඉස්කෝලේ යන්න, ක්‍රීඩා කරන්න වගේම නාන්න, මස් මාළු කන්නත් පුළුවන්.
- ඔසප් ලේ අපිරිසිදුයි කියලා සමහරු විශ්වාස කරනවා. ඒත් මේ පිට වෙන්නේ අපේ ඇගේ තියන ලේමයි. තුවාලයකින් ගලන ලේ වගේමයි.
- ප්‍රජනන ප්‍රද්ධතිය ආශ්‍රිත සංකූලතා හෝ හෝමෝන ආශ්‍රිත ගැටළු තිබෙනවානම් ඔසප් චක්‍රය අක්‍රමත් වීමට පුළුවන්.
- ගර්භණී කාලය තුළ, ඔසප් වීම සිදු වන්නේ නැහැ. කළලය වර්ධනය වීම සදහා ගර්භාෂ බිත්තිය අවශ්‍ය නිසා, එය ගර්භාෂයෙන් ගැලවී යන්නේ නැහැ.
ඔසප් වීම ආරම්භ වන්නේ සහ නතර වන්නේ කවදාද?
ගැහැණු ළමයෙකුට ඇගේ පළමු ඔසප් වීම වයස අවුරුදු 9 ත් 14 ත් අතර සිදු විය හැක. මෙය සිදුවන නිශ්චිත වයස වෙනස් වන අතර එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෙනස් වනවා. ලිංගිකව පරිණත ගැහැණු ළමයෙකුට සෑම දින 29 ත් 31 ත් අතර කාලයකට වරක් ඔසප් වීම සිදුවනවා.
ගර්භණී සමයේදී ගර්භාෂ ශ්ලේෂ්මලය ගර්භාෂය තුළ දරුවා පෝෂණය කිරීම සඳහා යොදා ගන්නා අතර එම නිසා ඔසප් වීම සිදු ව්නේ නැහැ. . දරුවා ඉපදුණු පසු එය නැවත ආරම්භ වනවා.
වයස අවුරුදු 40 ත් 50 ත් අතර කාලය තුළ ඔසප් වීම නතර වන අතර එය එකිනෙකාට වෙනස් වේ. එය ආර්තවහරණය ලෙස හැඳින්වෙනවා..
ඔසප් වීම කොපමණ කාලයක් පවතිනවාද?
සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගේ ඔසප් වීම දින 3 – 5 අතර කාලයක් පවතින්න පිළුවන්. මුල් කාලයේදී ඔසප් වීම අක්‍රමවත් වීම සාමාන්‍ය දෙයක්. මේ කාලය අතර තුර ඔසප් වීමේ කාල සීමාව දින 2 – 7 දක්වා වෙනස් වෙන්න පුළුවන්.
ඔසප් චක්‍රයක දිග කොපමණද?
ඔසප් චක්‍රය ඔසප් වීමේ පළමු දිනයේ සිට ඊළඟ ඔසප් වීමේ පළමු දිනය දක්වා ගණනය කෙරෙනවා. බොහෝ කාන්තාවන්ට ඔසප් චක්‍රය දින 21 සිට 35 දක්වා තිබෙනවා.
ඔසප් රුධිරය කළමනාකරණය කර ගන්නේ කෙසේද?
ඔසප් වීමේදී ඔසප් රුධිරය නිසි ආකාරයෙන් අවශෝෂණය කර හෝ එකතු කර බැහැර කළ යුතුය. මේ සදහා පහත සඳහන් ඕනෑම ඔසප් නිෂ්පාදනයක් භාවිතා කළ හැකිය.
එක් වරක් භාවිත කර ඉවත දමන තුවා
මෙය යෝනි මාර්ගය සහ යට ඇඳුම් අතර පැළඳ සිටින අවශෝෂක සනීපාරක්ෂක තුවායකි.
සෝදා නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා
මෙය සෝදා, ඉර අව්වේ වේලා ගෙන නැවත නැවත භාවිතා කළ හැකි රෙදි වලින් සාදන ලද සනීපාරක්ෂක තුවායකි.
ටැම්පූන්
මෙය ඔසප් රුධිරය අවශෝෂණය කිරීම සඳහා යෝනි මාර්ගයට ඇතුළු කරන ඔසප් නිෂ්පාදනයකි.
කෝප්පය
මෙය සාමාන්‍යයෙන් සිලිකොන් වලින් සාදන ලද සීනුව හැඩැති කෝප්පයක් වන අතර යෝනි මාර්ගයට ඇතුළු කරනු ලැබේ. ඔසප් කෝප්පය සෝදා නැවත භාවිතා කළ හැකිය.
ඔසප් දින වලදී මෙන්ම, අනෙක් දවස් වලටත් පිරිසිදු යට ඇදුම් ඇදීමට අමතක කරන්න එපා.
පාවිච්චි කළ සනීපාරක්ෂක තුවා හෝ ටැම්පොන් බැහැර කරන්නේ කොහොමද?
එක් වරක් භාවිත කර ඉවත දමන තුවා සහ ටැම්පොන් කිසි විටෙකත් වැසිකිළි වලට දැමීම නොකළ යුතුයි. එය දිරාපත් වන්නේ නැති නිසා ඉන් නල මාර්ග අවහිර වනවා. දිරා පත් නොවන සනීපාරක්ෂක උපකරණ පරිසයට බැහැර කිරීමෙන් පාරිසරික හානියක් සිදු වනවා. ඒවා පිළිස්සීමේදී විෂ දුම පිටවන අතර, වළලා දැමුවොත් ඉන් පසේ සිටින ජීවින්ට හානි වනවා, පස නිසරු වනවා, ස්වභාවික ජල උල්පත් අවහිර වනවා. ඒවා බැහැර කිරීමට හොඳම ක්‍රමය වන්නේ ඉන්සිනෙරේට්ර් කිරීමයි. ඔබේ පාසලටත් ඉන්සිනෙරේට්ර් යන්ත්‍රයක් ඉල්ලා සිටීමට ඔබට පුළුවන්.
පරිසර හිතකාමී ඔසප් කොප්පක් හෝ සෝදා නැවත භාවිත කළ හැකි තූවා භාවිතා කිරීමට යොමු වීමත් හොද අදහසක්.
ඔසප් කෝප්පයක් භාවිතා කරන්නේ කෙසේද?
ඔසප් කෝප්පය කියන්නේ ස්වභාවික රබර් හෝ සිලිකොන් වලින් සාදන ලද සීනුවක හැඩයක් ඇති යෝනි මාර්ගයට ඇතුළු කරන සනීපාරක්ෂක උපකරණයක්. නිවැරදිව ඇතුළු කළ විට එය යෝනි මාර්ගයේ හෝදින් හිර වී සිටිනවා. ඔසප් කෝප්පයක් පැය 8 – 10ත් අතර කාලයක් පැළඳගෙන ඉන්න පුළුවන්.
ඔසප් කෝප්පය ගැන වැඩි දුර විස්තර දැන ගැනීමට happy bleading ඉන්ටග්‍රෑම් පිටුවට එන්න.
පළමු ඔසප් වීම සිදු වූ විට මම කළ යුත්තේ කුමක්ද?
බය වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔසප්වීම ඉතාම සාමාන්‍ය සිදුවීමක්.
ඔබ සිටින්නේ පසලේ නම්, විශ්වාසවන්ත ගුරුතුමියක් සමග ඒ බව පවසන්න. ඔවුන් ඔබට පෑඩ් එකක් දේවි. මෙවැනි අවස්ථාවදී සාමාන්‍යයෙන් සිදු වන්නේ දෙමව්පියන්ව ගෙන්වා ගෙදර යැවීමයි. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. පෑඩ් එකක ඇද ගෙන සාමාන්‍ය පරිදි පාසල් වැඩ කටයුතු නිමවා ගෙදර යාමට පුළුවන්.
නිවසේදී පළමු ඔසප් වීම සිදු වුණොත්, මව හෝ පියා නිවසේ නැතිනම් ඔබට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග ඒ බව පවසා පෑඩ් එකක් ඉල්ලාගෙන ඇද ගන්න. මෙවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිදු වන්නේ දෙමාපියන් එන තුරු කාමරයක් ඇතුලට වී සිටීමට උපදෙස් දීමයි. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ.
ඔසප්වීම හා බැදුණු සංස්කෘතික චාරිත්‍ර රාශියක් තිබෙන නිසා බෙහෝ දරුවන්ට පළමු ඔසප් වීම ඉතා බිය කරු අත්දැකීමක් වනවා. එවැනි තත්ත්වයක් මග හරවා ගැනීමට නව යොවුන් වියේ සිටින ඔබට දෙමාපියන් සමග ඒ ගැන කතා බහ කළ හැකියි.
ඇතැම් විට දෙමාපියන්ට ඔසප් වීම ගැන විද්‍යාත්මක තොරතුරු ලැබී නොමැති වන්නට පුළුවන් එසේත් නැතිනම් හැමෝම කරන නිසා සංස්කෘතික චාරිත්‍ර අනිවාර්ය බව සිතන්නට පුළුවන්. ඔබේ සෞඛ්‍යය ශාරීරික අධ්‍යාපනය පෙළ පොතේ ඇති තොරතුරු කියවා දෙමාපියන්වත් දැනුවත් කිරීමට ඔබට පුළුවන්.
ඔසප්වීම ගැන මිත්‍යා අදහස් ආවේ කොහෙන්ද?
විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යයන මගින් විස්තර කිරීමට පෙර ඔසප්වීම සැලකුණේ අද්භූත දෙයක් විදියට. ඒ නිසා ඔසප්වීම විස්තර කරන්න අතීත සමාජ වලද නොයෙකුත් කතාන්දර ගොඩනැගුණා. ඒ කතාන්දරවල ඇත්තක් නැති බව විද්‍යාව මගින් මේ වන විට ඔප්පු කර තිබුණත් තවමත් අපි අතර ඒ කතාන්දර පිළිගැනීමට ලක්වෙනවා. මේ කතාන්දර හැදින්වෙන්නේ ඔසප්වීම ගැන ඇති මිත්‍යාමත යනුවෙන්.
මේ මිත්‍යා මත වලින් යෝජනා කරන ප්‍රධාන දෙයක් වන්නේ ඔසප් වීම අසනීපයක් හෝ සාපයක් බවයි. ඔසප්වීම මගින් ස්ත්‍රී ශරීරය අපවිත්‍ර කරන බව ඉන් අදහස් කරනවා. මේ වගේ විශ්වාස සහ අදහස් මගින් ගැහැණු අයව වෙනස්කොට සැලකීමට ලක් වනවා. උදාහරණයක් විදියට ඔසප් වීම නිසා ආගමික ස්ථානයකට ඇතුළු වීමට ඉඩ නොදීම පෙන්වා දීමට පුළුවන්. ඒ වගේම ගැහැණු දරුවන් තුළ තමන් පහත්යැයි යන හැගීම වර්ධනය කරනවා. එය ඔවුන්ගේ ස්වයං අභිමානය සහ සංවර්ධනය අඩපණ කරනවා. මේ වෙනස්කොට සැලකීම සාධාරණදැයි ඔබම සිතා බලන්න.
ඔසප්වීම ගැන ඇති මිත්‍යා මත බැහැර කරන්නේ කෙසේද?
ඔසප්වීම කියන්නේ හරිම හොරෙන්, රහසින් කතා කරන දෙයක්. එය එසේ විය යුතු නැහැ. මිත්‍යා මත බැහැර කිරීමට අපට කළ හැකි එක් දෙයක් වන්නේ ඔසප්වීම ගැන විවෘතව කතා කිරීමයි. දෙමාපියන් සමග, යහළුවන් සමග වගේම සමාජමාධ්‍ය වලත් අපට ඔසප් වීම ගැන කතා බහ කිරීමට, තොරතුරු බෙදා ගැනීමට පුළුවන්.
අපට කළ හැකි තවත් දෙයක් වන්නේ මිත්‍යා අදහස් පිළිපදින අයගෙන් එ්වාට විද්‍යාත්මක පදනමක් තිබෙනවාදැයි අසා බැලීමයි. ඒ හරහා විද්‍යාත්මක දත්ත මිත්‍යා අදහස් වලින් වෙන් කර හදුනාගැනීමට ඒ අයට සහය වීමට අපට පුළුවන්.