අන්තර්ජාලයේ සුරක්ෂිත වෙමු

අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබාගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ හේතු මත අපි අන්තර්ජාලය භාවිත කරනවා.

අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ හැකි ආරක්ෂිත විධි විධාන කිහිපයක් මේ පිටුවේ ඇතුළත් වනවා.

සමාජජාලා තුළ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?

  1. යම් කෙනෙකුට මාගේ ගිණුම හැක් කළ හැකිද?

යම් අයෙකුට ඔබේගේ ගිණුමට ඇතුළු විය හැකි ක්‍රම බොහෝමයක් ඇත.

ඇතැම් විට ඒ යම් අයෙකුට ඔබගේ මුරපදය (password) ලැබීමෙන් විය හැකිය. බොහෝ පුද්ගලයින් මුරපද හොරකම් කිරීමේ යෙදී සිටිනඅතර, ඇත්තෙන්ම එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.

ඔබගේ මුරපදය ඉතා වැදගත් වීමට හේතුව වන්නේ ඉන් ඔබගේ පෞද්ගලික තොරතුරුවලට ප්‍රවේශ වීමට අගුළු හරින නිසායි.

passw@rd යනු ඉංග්‍රීසි භාෂාවෙන් වඩාත් බහුලව භාවිත වන මුරපදවලින් එකක් බව ඔබ දන්නවාද?

හැකර්වරුන්ට එරෙහිව පළමු ආරක්ෂාව ලෙස ක්‍රියාකිරීමට ශක්තිමත් මුරපදයකට හැකියාව තිබෙනවා. එය බුද්ධිමත්ව තෝරන්න.

  1. වඩා ශක්තිමත් මුරපදයක් සාදා ගන්නේ කෙසේද?

ඉතා සුළු උත්සහායක් යෙදීමෙන් හැකර්වරුන්ගෙන් ඔබගේ ඔන්ලයින් ගිණුම් ආරක්ෂා කරගැනීමට හැකියි.   කෙටි මුරපද ඉතා පහසුවෙන්පරිගණක මඟින් සොයාගත හැකි නිසා ඒ වෙනුවට, පාස්ෆ්‍රේස් passphrase නැත්නම් මුරඛණ්ඩ භාවිතා කිරීමට උත්සහ කරන්න.

පාස්ෆ්‍රේස් යනු එකට එකතු කළ විට එය සාදන්නාට පමණක් තේරුමක් ඇති වචන සමුහයකින් සෑදී ඇති මුරපදයක්පාස්ෆ්‍රේස්, එයසාදන්නාට මතක තබා ගැනීම පහසු නමුත් ඉතා දියුණු පරිගණකයට පවා සෙවීමට අපහසු වනවා.

උදාහරණයක් ලෙස ඔබේ උපන් මාසය සහ වර්ෂය වන august2013! යන්න මුරපදය ලෙස භාවිත කරනවානම් එය  අනුමාන කිරීම ඉතාපහසුයි. වඩා ශක්තිමත් මුරපදයක් සෑදීම සඳහා EyeL1keMyFr1ends&Fam1ly! වැනි අකුරු සහ ඉලක්කම් භාවිත කරන්න. මෙවැනි මුරපදයක් පාස්ෆ්‍රේස් එකක් ලෙස හැදින්වෙනවා.

මුරපදය දිගු වන තරමට වඩාත් හොඳයි! ඔබගේ මුරපදය අකුරු 15කට වඩා වැඩි කර, සංකේත, අංක සහ ඉංග්‍රීසි කැපිටල් අකුරු එකතුකරන්න.

ඉතා හොඳ පාස්ෆ්‍රේස් එකක් පවා මුරපදයක් ලෙස සැමවිටම ප්‍රමාණවත් වන්නේ නැහැ.  ඔබට ඔබගේ වඩාත් වැදගත් ගිණුම් සඳහා වැඩිආරක්ෂාවක් අවශ්‍ය නම් ද්වි-සාධක සත්‍යාපනය (Two-Factor Authentication -2FA) සක්‍රීය කරන්න- එවිට, සමාජමාධ්‍ය වලට ප්‍රවේශවන විටදී ඔබ ලබා දෙන දුරකතන අංකයට හෝ ඊමේල් ලිපිනයට රහස් අංගයක් ලැබෙන අතර, එය නොමැතිව ගිණුමට ඇතුළු වීමට බැහැ. ෆේස්බුක්, ජීමේල්, ටික්ටොක්, එක්ස් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය වෙබ් අඩවි බොහෝමයක් ඔබගේ ගිණුම්වලට ප්‍රවේශ වීමේ වඩා ආරක්ෂිත ක්‍රමයක් ලෙස 2FA භාවිතාකිරීමට ඉඩ සලසා  දෙනවා. මෙය භාවිත කරන්න!

ඔබ පාස්ෆ්‍රේස් හෝ මුරපදයක් හෝ කුමක් භාවිතා කිරීමට තීරණය කළත් මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ එය එක ගිණුමකටවඩා වැඩි ගිණුම් ගණනකට භාවිත නොකළ යුතු බවයි! හේතුව නම් එකම පාස්ෆ්‍රේස් එක හෝ මුරපදය ගිණුම් සියල්ලටම හෝ කිහිපයකටභාවිත කරන විට එය කෙනෙකු දැන ගතහොත් ඒ ගිණුම් සියල්ලටම එම පුද්ගලයාට ඇතුළු වීසට හැකියාව ලැබෙනවා.

  1. මා සමාජ මාධ්‍යවල පළ කළ යුත්තේ මොනවාද?

ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ අනිකුත් බොහෝමයක් අය වගේ නම් ඔබටත් එය ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධවෙමින් සබඳතා පවත්වා ගැනීමට පහසු මාධ්‍යයක්. මිනිසුන් තමන් පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය හරහා හුවමාරු කිරීම සහ පලකිරීම සිදු කරන අතර තමන් විසින් එසේ පළ කරන ලද පින්තූර සහ අදහස් නන්නාඳුනන ආගන්තුක පුද්ගලයින්ටද දැකගත හැකි බව දැනගන්නේ ඒවා පළකිරීමෙන් පසුවයි. ඔබගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම දෙස බැලීමෙන්ම ආගන්තුක පුද්ගලයින්ට ඔබ පිළිබඳව බොහෝ දේ දැනගැනීමේ හැකියාව ඇත් දැයි සිතා බලන්න.

ඔබ අන්තර්ජාලය තුළ පළකරන පණිවිඩ, වීඩියෝ, සහ පින්තූර බුද්ධිමත්ව තෝරා පළකරන්න. ඔබ ගන්නා ඡායාරූප සහ ඔබ ගැන අන් අයසමඟ හුවමාරු කරගන්නා තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන්න.

මතක තබා ගන්න.

අන්තර්ජාලය තුළ පළකළ කිසිවක් කිසිදා අතුරුදහන් වන්නේ නැහැ!

  • ඔබගේ නම ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෝදිසි කර ඒ හරහා ඔබ පිළිබඳ කෙතරම් තොරතුරු ප්‍රමාණයක්  ඕනෑම කෙනෙකුට දැන ගතහැකිදැයි බලන්න.
  • ඔබේ අන්තර්ජාල ජීවිතය, ආරක්ෂාව සහ ගෞරවය, සහකම්පනය වැනි සදාචාරාත්මක හැසිරීම් හරහා සුවපහසු අත්දැකීමක් බවට පත්කර ගන්න.
  • ඔබ අන්තර්ජාලය තුළ ආරක්ෂිතව සිටිනවා වගේම අනෙක් අයගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ගැනත් සිතන්න.
  1. වෛරී සහගත ප්‍රකාශ කිරීමෙන් වළකින්න.

යම් කිසි ආගමක් හෝ ජාතියක් පහත් කරන සුළු වෛරී කතනයෙන් මිනිසුන් අතර ඇති තේරුම් ගැනීම සහ විශ්වාසය පළුදු වීමට පුළුවන්.ඒ නිසා වගතීම් සහගත දෙය වන්නේ අන්තර්ජාලය තුළ කිසිවෙකු පහත් කොට සැළකීමට ලක් නොකිරීමයි. එවැනි වෛරී සහගත ප්‍රකාශසමාජ මාධ්‍ය තුළ ඔබ දකිනවානම්, ඒවා රිපෝට් කරන්න.

  1. GenAI (කෘතිම බුද්ධිය යොදා ගෙන සිදු කරන නිර්මාන) පිළිබද සැළකිළිමත් වන්න

කෘතිම බුද්ධිය යෙදා ගෙන ඡායාරූප වෙනස් කිරීම ඉතා සුළු දෙයකි. ඇත්ත ඒවා සේ පෙනෙන ආකාරයෙන් වීඩියෝ පට වුවද කෘතිම බුද්ධයයොදා ගෙන නිපදවනවා.

ඔබ සමාජ මාධ්‍ය තුළ පල කරන ඡායාරූප නිරුවත් හෝ ලිංගික දර්ශන සහිත ඒවා බවට පත් කිරීමට AI App  වලට පුළුවන්. එපණක්නෙවේ. අළුත් ඡායාරූප නිර්මාණය කිරීමටත් පුළුවන්. ඒවා අන්තර්ජාලය හරහා දහස් ගණනක් වෙත බෙදා හැරීමට ගත වන්නේ සුළුකාලයක්.

කෘතිම බුද්ධිය ඇතුළු අන්තර්ජාලයේ වර්ධනය ඉතාම සීග්‍රයෙන් සිදු වන්නක්. ඒ නිසා මේ අළුත් වර්ධනයන් පිළිබද ඔබේ දැන් වැඩි කරගන්න. ඒ ගැන දැනුවත් වීමෙන්, AI තාක්ෂණය යහපත් අරමුණ සදහා යොදා ගැනීමට ඔබටත් පුළූවන්.

කෘතිම බුද්ධිය මගින් ක්‍රියා කරන CHATGPT වැනි ඇපි භාවිත කිරීමේදී ඒවායින් ලබා දෙන තොරතුරු නිවරදි දැයි වෙනත් මූලාශ්‍ර මගින්තහවුරු කර ගන්න.

AI ඡායාරූප සැකසීම සඳහා ලබා දුන් ඔබේ ම ඡායාරූප අනාගතයේදී ඔබට ම හමුවිය හැකි ඔබ නොහිතන තැන් – බීබීසි සිංහල වෙබ් අඩවියේ පළ වූ ලිපියක් කියවන්න.  

අන්තර්ජාලය හරහා සිදු විය හැකි හිංසන ගැන දැනගනිමු

අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම හෝ සයිබර් හිරිහැර කිරිම යනු යමෙක් තව පුද්ගලයෙකුට නරකක් වන අයුරින් අන්තර්ජාලය භාවිතා කිරීම මගින් එම පුද්ගලයාට නරකක් හෝ අපහසුතාවයක් ඇති වීමයි.

  • අන්තර්ජාලය හරහා සිදුවන හිරිහැර කිරීම් ඉලක්ක කරගත් පුද්ගලයාගේ මානසික සහ ශාරිරික සෞඛ්‍යයට හානි ඇති කරනවා.
  • මේ හිරිහැර අන්තර්ජාල කතාබස්, අදහස්‍, පණිවිඩ, චැට්, සජීවී දර්ශන, මීම්ස්, ඡායාරූප, වීඩියෝපට, ඉමේල් ඇතුළු ඕනෑම ආකාරයකින් සිදුවීමට පුළුවන්.
  • හිරිහැර කිසිදු කරන අන්තර්ගතය වාර්තා කළවිට එය එම වෙබ් අඩවිය, ක්‍රීඩාව හෝ යෙදුමෙන් ඉවත් කිරීමට හිංසනයට ලක් වන පුද්ගලාට හැකියාව තිබෙනවා. ඔවුන් උදවු නොකළහොත් ශ්‍රී ලංකා සර්ට් හරහා එය මකා දැමීයට සහය ලබා ගැනීමට පුළුවන්.

අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම යනු කුමක්ද?

අන්තර්ජාලය හරහා සිදු වන හිංසන පොළව මත ජීවිතයේදී අපි මුහුණ දෙන හිරිහැර වලම දිගුවක්. පොළව මත ජීවිතයේදී අපි අත්දකින පහත්කිරීම්, කොන් කිරීම්, වෙනස්කොට සැලකීම් මෙන්ම වෛරීසහගත ක්‍රියා ද අන්තර්ජාලය තුළදී අත්දැකීමට ඉඩ තිබෙනවා.

අන්තර්ජාලයේදී මෙන්ම පොළව මත ජීවිතයේදීද හිරිහැර සිදු වන්නේ බල අසමතුළිතතාවය නිසයි.

බොහෝවිට අන්තර්ජායේදී සිදුවන හිරිහැර පොළව මත සිදුවන (offline) හිරිහැර කිරීම් සමග සම්බන්ධ වනවා. උදාහරණයක් ලෙස, පාසලේ හෝ මිතුරු කණ්ඩායමක ඇති වන ගැටුමක් සමාජ මාධ්‍ය හෝ messaging apps වෙත පහසුවෙන් පැතිර යාමට පුළුවන්.

හේතු කිහිපයක් නිසා අන්තර්ජාලය හරහා සිදු වන හිරිහැර කිරීම ඉතා හානිකර විය හැකියි.

  • එය ඕනැම වෙලාවක සිදුවිය හැකි අතර ඩිජිටල් උපාංගයක් ඇති ඕනෑම ස්ථානයකට යැවිය හැකියි.
  • හිරිහැර කිරීමේ අන්තර්ගතය සමාජ මාධ්‍ය වැනි පොදු වේදිකාවක බෙදාගෙන තිබේ නම්, එය බොහෝ දෙනෙකුට ඉතා ඉක්මනින් දැකීමට සහ ව්‍යාප්ත කිරිමට හැකියි.
  • අන්තර්ගතය ඉවත් නොකළහොත්, එය හිරිහැරයට ලක්වූ පුද්ගලයාගේ කීර්ති නාමයට හෝ ඩිජිටල් පියසටහන් (digital footprint)වලට කාලයක් තිස්සේ බලපායි.

අන්තර්ජාලය හරහා සිදු වන හිරිහැර වලට උදාහරණ

  • හානිකර හෝ අපවාදාත්මක පණිවිඩ යැවීම
  • යමෙකු ගැන නරක කටකතා හෝ බොරු පතුරුවා හැරීම.
  • කෙනෙකුගේ නමින් ව්‍යාජ ගිණුම් තනා ඔවුන් අපහසුතාවයට පත් කිරීම
  • යමෙකුට විහිළු කිරීමට හෝ අවමන් කිරීමට ඔවුන්ගේ ඡායාරූප හෝ වීඩියෝ බෙදාගැනීම.
  • ට්‍රෝල් කිරීම ( වාදයක් හෝ ප්‍රතික්‍රියාවක් ඇත් කිරීම සදහා ඔන්ලයින් පළ කිරීම් හෝ අදහස් දැක්වීම්)
  • යමෙකුට රිදවන බවට තර්ජනය කිරීම හෝ ඔවුන්ට රිදවීමට අන් අයව පෙළඹවීම.
  • ඔබව දැනටමත් අවහිර කර ඇති කෙනෙක් ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සහ කිරීම සදහා නව ගිණුම් සෑදීම.

 

අන්තර්ජාලයෙන් හිරිහැර කිරීම සිදුවන්නේ ඇයි?

සමහරුන් අන්තර්ජාලය තුළ මෙවැනි හැසිරීම් පෙන්නුම් කරන්නේ එයින් ඔවුන් බලවත් සහ ජනප්‍රිය වන බව සිතන නිසා වන්නට පුළුවන්.  එවැනි තවත් හේතු කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • ඔවුන් පෙරලා පහර දෙන්නේ තමන්ට පෙර කුමක් හෝ ප්‍රශ්ණයක් ඇති කළ පුද්ගලයෙකුට වෙන්නට පුළුවන්.
  • කෝපයට පත්වී සිටින විට අන් අයට නපුරක් සිදු කිරීමට සිත යෙමු වීමට ඉඩ තිබෙනවා.
  • විහිළුවක් කිරීමට උත්සහ කරන නමුත් එය තවත් අයෙකුගේ හැගීම් රිදවන අවස්ථා තිබෙන්නට පුළුවන්.
  • ඇතැම් විට කෙනෙකුට රිදවීමට හෝ අපහසුතාවයට පත් කිරීමට හැකි දෙයක් බෙදාගැනීමට පෙර එහි බලපෑම ගැන සිතන්නේ නැතිවීම තවත් හේතුවක් වනවා.

ඔබ අන්තර්ජාලය තුළ කෙනෙක්ව කේන්තියට හෝ කලබලයට පත් කළහොත්, තත්ත්වය නරක අතට හැරීම නවත්වා ගැනීම සදහා සමාව ඉල්ලා සිටීම  සහ අන්තර්ගතය මකා දැමීම හොද අදහසක්.

මම අන්තර්ජාලය තුළ හිරිහැරට ලක් වනවා නම්  කළ යුත්තේ කුමක්ද?

කිසිම හිරිහැරයකට ලක් නොවූ අන්තර්ජාලය භාවිතා කිරීමට අප සැමට අයිතියක් තිබෙනවා. නමුත්, හිරිහැර සිදුවීම ඉතාමත් සුලභයි. ඒ නිසා එ්වා නැවැත්වීමට වඩාත් ඵලදායීක්‍රම මොනවාදැයි මේ කොටසේදී සාකච්ඡ කරනවා.

1. ආපසු පහර දෙන්න එපා

ඹබට රිදවන හෝ අපහසුතාවයට පත්වන දෙයක් සිදුවූ විට නැවත එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යොමු වන්න එපා.  ඉන් තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ තිබෙනවා මෙන්ම  ඉන් ඔබව තවත් අපහසුතාවයට පත්විය හැකියි.

සන්සුන් වීමට සහ මීළගට කුමක් කළ යුතුදැයි සිතා බැලීමට  මිනිත්තු කිහිපයක් සදහා තිරයෙන් ඉවත්වීම හොද අදහසක්. ඔබට මේ හිරිහැර කිරීම් නොපෙනෙන ලෙසට එම පළකිරීම් හෝ අදහස් නොසලකා හැරීමට, සැගවීම හෝ නිශ්ශබ්ද කිරීමට ඇප් එක හරහා පුළුවන්.

හිරිහැර එය සිදුකරන පුද්ගලයාගේ චරිතය පෙන්වන්නක් මිස ඔබේ වැරැද්දක් නොවන බව මතක තබාගත යුතුයි. කෙනෙක් ඔබ ගැන නරක දෙයක් කී පමණින් එය ඇත්ත බව අදහස් වන්නේ නැහැ.

2. ඔබ විශ්වාස කරන කෙනෙකුට කියන්න

ඔබ තනියෙන් හිරිහැරයට මුහුණදිය යුතු නැහැ. තමන්ටම එය හසුරවාගත හැකි බව සිතුණත්, විශ්වාසවන්ත කෙනෙක් සමග ඒ ගැන කතා බහ කිරීම ඔබට ශක්තියක් වනවා.

පවුලේ සාමාජිකයෙකු හෝ ගුරුවරයෙකු වැනි ඔබ විශ්වාස කරන වැඩිහිටියෙකුට ඔබේ ගැටළුව දෙස අලුත් ඇසකින් බැලිය හැකි වන අතර ඒ සදහා ඔබට කළ හැකි දේ පිළිබද පැහැදිළි චිත්‍රයක් ගොඩනගා ගන්නට එය උදවු වනවා.

3. ඔවුන්ට නවත්වන ලෙස ඉල්ලා සිටීම ගැන හිතන්න

සමහරුන් තමන් කරන දෙය අන් අයට බලපාන්නේ කෙසේද යන්න ගැන නොසිතා අන්තර්ජාලයේ විවිධ දේවල් කරනවා. ඔබට හිරිහැර කරන පුද්ගලයාගෙන් එය නවත්වන ලෙස හෝ පල කළ දේ මකා දමන ලෙස ඉල්ලා සිටින්නට පුළුවන්. එය සැම විටම සාර්ථක වන්නේ නැහැ. නමුත් ඔබ අපහසුතාවයට සහ පීඩනයට පත් වී සිටින බව දැනුම් දීමෙන් හිරිහැරය සිදු කරන පුද්ගලයා එම ක්‍රියාව ගැන නැවත සිතා බැලීමට යොමු කරන්න පුළුවන්.

හිරිහැරය දිගටම සිදු වනවානම් ඒ පුද්ගලයා සමග සන්නිවේදනය නතර කර ඊලග පියවර අනුගමනය කරන්න.

  1. සාක්ෂි එකතු කරන්න

හිරිහැරය හා සම්බන්ධ තිරපිටපත් (screenshots) සේව් කර ගන්න. ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ පරිශීලක නාම (username)  සහ සංදර්ශක නම් ( screen name) සටහන් කර URL  (වෙබ් ලිපින), මෙන්ම message link (Discord සඳහා) තබා ගන්න.හිරිහැර කිරීම කොපමණ කාලයක් සිදුවී ඇත්ද යන්න සටහන් කර ගන්න. එයට වගකිව යුතු පුද්ගලයා ඔබ දන්නා කෙනෙක්ද යන් සිතා බලන්න.

  1. හානිකර අන්තර්ගතය වාර්තා කරන්න

ඔබට හිරිහැර කිරීමට භාවිතා කරන සමාජ මාධ්‍ය අඩවියට, ක්‍රීඩාවට හෝ යෙදුමට(app) හිරිහැරය වාර්තා කරන්න. ළමා ආරෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට (1929) පැමිණිළි කරන්න. ශ්‍රී ලංකා සර්ට් (0112 691 692)  වෙත වාර්තා කරන්න.  ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් අංශයට පැමිණිළි කරන්න. අන්තර්ජාල හිරිහැරවලින් මිදීමට උපකාර කරන තවත් සංවිධාන සහ කණ්ඩායම් ගණනාවක්ම ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. https://deletenothing.org/support/find-support/

  1. තවදුරටත් සම්බන්ධවීමෙන් වළකින්න

හිරිහැරයට අදාල පළකිරීම් හෝ අදහස් ඔබට නොපෙනෙන ලෙස නොසලකා හැරීමට සැගවීමට (Hide), බ්ලෙක් කිරීමට  හෝ නිශ්ශබ්ද (Silent)  කිරීමට ඔබගේ app functions භාවිතා කරන්න. ඒ කෙසේදැයි ශ්‍රී ලංකා සර්ට් විසින් කියාදෙනු ඇත.

  1. තවත් උදව් ලබාගන්න

අන්තර්ජාලය හරහා සිදු වන හිරිහැර මගින් ඔබට බරපතල මානසික පීඩනයක් ඇති කළ හැකිය. හිරිහැර වලට මුහුණ දුන බොහෝ අය පවසන්නේ එයින් ඔවුන් කෝපයට, දුකට, ලැජ්ජාවට, රිදවීමට, කනස්සල්ලට, බියට හෝ ආතතියට පත් වූ බවයි. එම හානිය කෙටිකාලීන හෝ දිගුකාලීන විය හැකියි. ඒ නිසා විශ්විසවන්ත වැඩිහිටියෙකුගෙන් සහය ලබා ගෙන හිරිහැර වල බලපෑම අඩු කර ගැනීමට උත්සහ කරන්න. ඔබට සවන් දීමට හා උදව් කිරීමට අය සිටින ආයතන කිහිපයක් පහතින් දැක්වෙනවා.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – +94707308308 / +94767520620

යොවුන් පියස – +94 112 681 309 / +94 112 696 677

යමෙක් ඔබේ නිරුවත් හෝ වෙනත් පෞද්ගලික ඡායාරූප හෙළි කරනවා යැයි තර්ජනය කරන්නේ නම්, හෝ එය දැනටමත් එය සිදුකර ඇත්නම් ළමා ආරක්ෂක අධිකාරයේ 1929ට පැමිණිළි කරන්න. නැතිනම් ළමග ඇති ශ්‍රී ලංකා පෙලීසියේ සයිබර් අංශයට පැමිණිළි කරන්න.

අන්තර්ජාලය හරහා හිරිහැරට ලක්වෙන කෙනෙකුට මා උපකාර කරන්නේ කෙසේද?

හැකි සෑම විටම සන්සුන්ව සිටින්නට උත්සහ ගන්න. එවිට ගැටළුව පිළිබදව පැහැදිලිව සිතිය හැකියි. එවිට ඔබට අන්තර්ජාලය තුළ සිදුවන හිරිහැර දෙස බලා සිටින, අසා සිටින කෙනෙකු නොව අන් අයට උපකාර කරන කෙනෙකු වන්නට පුළුවන්.

හිරිහැරයට ලක්වූ පුද්ගලයා වෙත ලගා වන්න

හිරිහැරයට ලක්වූ පුද්ගලයාට පණිවිඩයක් යවන්න. ඔවුන් හොදින්දැයි විමසා ඔබේ සහයෝගය ලබා දෙන්න. හිරිහැරයට ලක්වූ තැනැත්තා කවුරුන් වුවද උපකාරක වචන කිහිපයකින් දිගු ගමනක් යන්නට පුළුවන්. ‍

  • “ඔයාට ලැජ්ජා නැද්ද?”,  “මට වුණානම් මැරෙන්න හිතෙනවා”  වැනි ඔවුන් තවත් දුර්වල කරන දෑ පැවසීමෙන් වළකින්න.
  • “ඔයාගේ වැරැද්දක් නෑ”, “බය වෙන්න එපා උදව් ගන්න ඕනෑ තරම් අය ඉන්නවා” වැනි ධෛර්යමත් කරවන ලෙස කතා කරන්න.
  • හිරිහැරය වාර්තා කිරීමට හැකි ආකාරය පිළිබද දැනුවත් කරන්න.

යමෙක් අන්තර්ජාලයෙන් මා ලෙස පෙනී සිටිනවානම් මම කුමක් කළ යුතුද?

  1. ඔබේ නමින් ගිණුමක් සාදා ඔබ මෙන් පෙනී සිටිනවානම් ඒ සදහා ඇති සාක්ෂි එකතු කරන්න. එම ගිණුම්වල පරිශීලක නාම (user name) වල තිර පිටපත් (screenshots) සහ එම ගිණුමෙන් වෙනත් පුද්ගලයින්ට ලැබී ඇති පණිවිඩ ඇතුළු සියළුම සාක්ෂි එකතු කර සේව් කර ගන්න. එම ගිණුම පිළිබද අදාල සමාජ මාධ්‍ය අඩවියට, ක්‍රීඩාවට හෝ යෙදුමට(app) වර්තා (report) කරන්න.
  2. ඔබගේ සැබෑ ගිණුමට අවසර නැතිව ඇතුළු වී ඇත්නම් සියලු උපාංග වලින් ඉවත් වී (logout) ඔබගේ මුරපද  (password) වෙනස් කර නැවත ලොග් වන්න. ලොග්අවුට් වීමේදී සියළුම උපාංග වලින් ඉවත්වීමේ විධානය (logout from devices) තෝරන්න. අළුත් මුරපදයෙන් ඇතුළු වී ඔබව අපහසුතාවයට පත් කරන පෝස්ට් මකා (delete) දමන්න. ඔබ කැමති නම් සිදුවීම පිළිබද පැහැදිළිකිරීමක්ද ඔබේ ගිණුමේ සටහන් කරන්න.

කවුරුන් හෝ අන්තර්ජාලය තුළ මම ගැන කටකතා පතුරනවා මට කළ හැක්කේ කුමක්ද? 

  1. ආපසු පහර දෙන්න එපා. ඉන් ගැටුම උග්‍ර වන්නට ඉඩ තිබෙනවා.
  2. ඔබ විශ්වාස කරන කෙනෙකුට කියන්න. එවැනි කෙනෙකු සමග කතා කිරීමෙන් එම හිරිහැරය ගැන කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට පහසු වනවා.
  3. කටකතා පැතිරවීම නවත්වන ලෙස ඉල්ලා සිටීමට හැකිනම් කාරුණිකව එසේ ඉල්ලා සිටින්න.
  4. ඔබට ඇහුම්කන් නොදී දිගින් දිගටම කටකතා පතුරවනවානම් එම ගිණුම සමග සම්බන්ධතා නවතා දමන්න.
  5. හිරිහැරය පිළිබද සාක්ෂි එකතු කර වාර්තා ( report) කරන්න.

මගේ පෞද්ගලික ඡායාරූප (nudes) ප්‍රසිද්ධියේ පළ කරනවා යැයි කවුරුන් හෝ තර්ජනය කරනවානම් මට කළ හැක්කේ මොනවාද?

විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ බව කියන්න. ඔබට එවැනි කෙනෙකු නැතිනම්, 1929 අමතා සහය ලබා ගන්න. නැතිනම් අපට කතා කරන්න.

ඔබ එවැනි ඡයාරූප පෙම්වතෙකු හෝ පෙම්වතියක් සමග බෙදා ගෙන තිබනවා නම් ඒ ගැන ලැජ්ජාවීමට අවශ්‍ය නැහැ. නව යොවුන් වයසේදී මෙවැනි ලිංගික ප්‍රකාශනයන් සිදු කිරීම සාමාන්‍ය දෙයක්. ඔබ මේ ඡායාරූප හෝ වීඩියෝ ෂෙයාර් කර ගත්තේ විශ්වාසය සහ ආදරය නිසා විය හැකියි. ඔබේ අවසරය නැතිව ඒවා වෙනත් අය සමග බෙදා ගැනීම ඒ විශ්වාසය කඩ කිරීමක්. ඒ නිසා එවැනි තර්ජන වලට බිය විය යුතු නැහැ.

නිරුවත ලැජ්ජාවිය යුතු දෙයක්ද?

නිරුවත සහ ලිංගික ඇසුර ලැජ්ජා විය යුතු දෙයක් ලෙස සමාජයේ අදහසක් තිබෙනවා. ඒ නිසා පාසලෙන්, ආගමෙන් වගේම පවුලෙනුත් ඔබට එවැනි පණිවිඩ ලැබී ඇති. නමුත් නිරුවත කියන්නේ මෙලොව උපන් හැම කෙනෙකුටම තියෙන දෙයක්. නිරුවත ගැන අපි ලැජ්ජාවෙන තාක් කල්, මෙවැනි ඡායාරූප වල අපට එරෙහි ආයුධයක් කර ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්. GenAi හෙවත් කෘතිම බුද්ධිය හරහා ඕනෑතරම් නිරුවත් ඡායාරූප නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා එවැනි තර්ජන වලට බිය විය යුතු නැහැ. ඔබට සහය වීමට ඕනෑතරම් අය සිටිනවා.

ඩිජිටල් තිරවලින් මොළයට හානි වනවාද?

ස්මාර්ට් දුරකතන, ටැබ්, ඔරලෝසු – ඩිජිටල් තිර හැම තැනම. මේ ඩිජිටල් උපකරණ අපේ ජීවිතයේ නැතිවම බැරි දෙයක් බලට පත් වී අවසන්. නමුත්, වැඩි වෙලාවක් මේ තිර දෙස බලා සිටීමෙන් ශරීරයට විශේෂයෙන්ම වර්ධනය වන මොලයට බලපෑම් සිදු වන බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා.

තිර දෙස බලා සිටීමෙන් මොලයේ ඉදිරිපස භාහිකය ( Frontal Cotex) නම් වූ කොටසට බලපෑම් සිදු කරන බව මේ ගැන පර්යේෂණය සිදු කරන විද්‍යාඥයින් පවසනවා.

නව යොවුන් විය මොළය වර්ධනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාලයක්. ඒ නිසා නව යොවුන් වියේ පසුවන දරුවන් මේ බලපෑමට ගොදුරු වීමට ඇති ඉඩ කඩ ඉහළයි.

වැඩිපුර කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් ඇති විය හැකි බලපෑම් මොනවාදැයි බලමු.

නිදා ගැනීමේ අපහසුව

වැඩි වේලාවක් තිර දෙස බලා සිටීමෙන් නිදා ගැනීම අපහසු කරවනවා. අදුරු වටපිටාවකදී අපගේ මොලය මගින් මෙලටොනින් නැමති රසායනය පිටකරනවා. රාත්‍රී කාලයට අපට නින්දට යාමට පහසු කරවන්නේ මේ රසායනික ක්‍රියාකාරිත්වය මගින්. ඩිජිටල් තිරයේ එළිය නිසා මොළය මේ රසායනය පිට කරන්නේ නැහැ. එවිට නිදිමත දැනෙන්නේ නැහැ. මේ නිසා වැඩි වේලාවක් අවදියෙන් සිටීමට අපි හුරුවෙනවා.

නව යොවුන් වියේදී හොද නින්දක් ලැබීම ශරීර වර්ධනයට සහය වනවා. නින්ද අවම වූ විට ප්‍රතිශක්තිය හීන වීමට ඉඩ තිබෙනවා. එවිට නිතර අසනීප වීම වීමට හැකියි. එමෙන්ම, අඩු නින්දක් ලැබීම නිසා අවධානය සහ මතකයටත් හානි වීමට පුළුවන්.

නිදා ගැනීමට සූදානම් වෙද්දීම පෙර ඩිජිටල් තිරය වසා දැමීම නුවණට හුරුයි. ඇදට ගොස් වීඩියෝ බැලීම, චැට් කිරීම ආදිය සීමා කිරීමෙන් නින්දට වන හානිය අවම කර ගන්න පුළුවන්.

සිතේ ස්වභාවය වෙනස් වීම

වැඩි වේලාවක් තිර මත ගත කිරීම මානසික සෞඛ්‍යයටත් බලපානවා. ඩිජිටල් තිර මත දකින යථාර්ථවාදී නොවන ඡායාරූප, වීඩියෝ ආදිය නැරඹීමෙන් තමන් පිළිබද ඇති ආත්ම අභිමානය අඩු වීමට බලපානවා. ශරීර පෙනුම, සමේ පැහැය ආදිය සංසන්දනය කරමින් තමන්ගේ ශරීරයට ගැන හීනමානයක් ගොඩගැනීමටද නව යොවුන් වියේ ඔබ පෙළඹීමට පුළුවන්.

මොළය වර්ධනය අඩාල වීම

වැඩි වෙලාවක් තිර දෙස බලා සිටීමෙන් අපගේ මොළයේ සැකැස්මට වෙනස්කම් ඇති විය හැකියි. තොරතුරු අවශෝෂණය කර ගන්නේ  මොලයේ පිටත ස්ථරය වන බාහිකය (Cortex) මගින්. නව යොවුන් වියේදී මේ කොටසේ ඉතා වැදගත් වර්ධනයක් සිදු වනවා. වැඩි වේලාවක් තිරයක් දෙස බලා සිටීම මගින්  වර්ධනයට බධා සිදු වීමට පුළුවන්.

වීඩියෝ ගේම් වල ඇති ප්‍රචණ්ඩත්වය ඉගෙන ගැනීම

ඩිජිටල් තිර ගැන කතා කරන විට වීඩියෝ ගේම් පිළිබද වැඩි අවධානයක් දිය යුතු වනවා. නව යොවුන් වියේ දරුවන් පමණක් නොව කුඩා දරුවන්ද වීඩියෝ ගේම් සමග සම්බන්ධ වනවා. වීඩියෝ ගේම් වලින් අපට දිනන හැගීමක් ගෙන දෙන නිසා දිගටම කර ගෙන යාමේ ආශාව ඇති වනවා. ඉතින් නැවැත්වීමට මොළය ඉඩ දෙන්නේ නැහැ.

වැඩි වේලාවක් වීඩියෝ ගේම් හා සම්බන්ධ වීමෙන් අවධානය පවත්වා ගැනීමට බාධා සිදු විය හැකියි. එමෙන්ම, ප්‍රචණ්ඩත්වය ඉතා සාමාන්‍ය දෙයක් ලෙස සිතීම, සහකම්පනය අඩු වීම, ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වීම ආදිය මගින් අපට ඉන් ලැබෙන අයහපත් ප්‍රතිඵල කිහිපයක්.

වීඩියෝ ගේම් වලින් ඉගෙන ගන්නා තවත් අයහපත් පණිවිඩයක් වන්නේ, ලිංගික අතවර ගැන ඉතා සුළුවෙන් තැකීමයි. බෙහෝ වීඩියෝ ගේම් වල,ගැහැණු අයට පහත් කරන පණිවුඩ වගේම ඔවුන් ලිංගික භාණ්ඩයක් ලෙසද පෙන්වා දෙන අවස්ථා තිබෙනවා.

තිර භාවිතය අඩු කිරීම කළ නොහැක්කක් ලෙස දැනෙනන්ට පුළුවන්. නමුත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒවා දෙස බලා සිටීමෙන් අපට දිගු කාලීන සෞඛ්‍යය ප්‍රතිවිපාක විදින්නට සිදු විය හැකියි. ඒ නිසා, ඩිජිටල් තිර දෙනා වැඩි වේලාවක් බලා සිටීම අවම කිරීමට උත්සහ ගන්න. සිංදු ඇසීම වැනි පවුලේ අයත් සමග කළ හැකි විනෝද කටයුතු වලට යොමු වීමෙන් තිරය අත්හැරීම නිසා ඇති වන සාංකාව මග හරවා ගැනීමට පුළුවන්.

 

Welcome to your උපාංග

අන්තර්ජාලයේදී මුහුණ දිය හැකි හිරිහැරයක් නොවන්නේ

2. මම අන්තර්ජාලය තුළ හිරිහැරට ලක් වනවා නම් කළ යුත්තේ කුමක්ද?

3. සමාජමාධ්ය ගිනුම් වල වැඩි ආරක්ෂාවක් සදහා යොදා ගත හැකි උපක්රමය කුමක්ද?

4. AI තාක්ෂණය පිළිබද වැරදි ප්‍රකාශය කුමක්ද?

5. සමාජමාධ්ය පිළිබද වැරදි ප්රකාශය කුමක්ද?

6. වීඩියෝ ගේම් වලින් දරුවන් ඉගෙන ගන්නා අහිතකර පාඩමක් නොවන්නේ

Call Us - (+94) 768797530